ග්ලැස්කෝ වතු යාය සියවසක් බලා සිටි වෙනස ගෙනා නාරායනන් පුන්නියසෙල්වන්

475

‘අපි අවුරුදු ගානක් පෙරුම් පුරමින්බ ලා හිටපු වෙනස පුන්නියසෙල්වන් පුතා
ආරම්භ කරලා තියෙනවා…… අපි හිතනවා මේක ආරම්භයක් පමණයි කියලා”

‘වතුකරයේ ජනතාව කිව්වම කවුරුත් ගණන් ගන්නේ නෑ’

‘දවසක මම මහා පරිමාණයෙන් වතුකරයට උපකාරක පංති කරනවා.
ඒත් සතයක්වත් ගන්නෙ නෑ’

දමිළයන්ට නාරායන වචනය වන්දනීයය. නාරායන කියන්නේ විෂ්ණුටය. දේව කතා ප්‍රවාදයන්හි විෂ්ණු විවිධ වේෂයෙන් මනුෂ්‍යන් අතරට පැමිණ දුක් පීඩා විඳින මනුෂ්‍ය ප්‍රජාවන් ඉන් ගලවා ගැනීමේ පෙරළි සිදුකර ඇත. ඒ දෙවියන්ය. මේ නුවරඑළිය ග්ලැස්කෝ වතු යායේ නාරායනන් පුන්නියසෙල්වන්ය. පුන්නියසෙල්වන්ගෙ දෙමාපියන් ඔහුගේ නමේ මුලට නාරයනන් නම තැබුවේ හේතුවක් මතදැයි අප දන්නේ නැත. ඒත් වතු කම්කරු ප්‍රජාව අතර නාරායන් පුන්නියසෙල්වන් දැන් පෙරළිකාර මිනිසෙක්ය. තේ ගස් යටට සින්නවන වතු කම්කරුවන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම ඛේදනීය ජීවන වළල්ලට අභියෝග කරමින් ඉන් පිටතට පය තබා පෙන්වූ නානුඔය වතුයායේ පළමු දරුවා නාරායන් පුන්නියසෙල්වන්ය. වසර එකසිය පනහකට වඩා ඉතිහාසයක් ඇති ග්ලැස්කෝ වතුයායේ දමිළ වතු කම්කරු දරුවන් අතරින් බිහිවූ පළමු උපාධිධාරියා ලෙස ඔහු අද එම ප්‍රජාවගේ ඉතිහාසය අලුතින් ලියමින් ඇත. ඔවුන්ට නව ලෝකයක් විවර කර ඇත.

නාරායනන් පුන්නියසෙල්වන් ස්වකීය ප්‍රජාව හමුවේ එම නව ලෝකය විවර කර පෙන්වන විට ලෝකයේ බහුතරක් ජනතාව මෙන්ම ඈත වතුකරයේ දරුවන් සිටියේද ලයනල් මෙසීලාගේ ලෝක පාපන්දු කුසලාන සිහිනයේ වෙලෙමින්ය. ජීවත්වීමේ අවම පහසුකම් වලින් කොතෙකුත් අඩු පාඩු ඇති වතුකරයේ දරුවන් මෙසීලා දෙස බලා සිටින විට මෙසී එදා අතේ පටියක් බැඳගෙන ක්‍රීඩා කරමින් ලෝකයට පණිවිඩයක් ගෙනාවේය. “සැමටම අධ්‍යාපනය” එහි තිබුණේය. මෙසී ගෙනා ඒ පණිවුඩය ඊට බොහෝ කලින් අවබෝධ කරගෙන එය ප්‍රායෝගිකව තම බාල පරම්පරම්පරාවට ආදර්ශයක් ගෙනාවේ ග්ලැස්කෝ වතුයායේ නාරයනන් පුන්නියසේලවන්ය. එම අපූරු වික්‍රමයත් සමග ජීවිතයේ දිනාගත යුතු සැබෑ කුසලානය කුමක්දැයි අවබෝධ කරගත් ග්ලැස්කෝ වතු යායේ කම්කරුවන් පුන්නියසෙල්වන් ගමට ගෙනාවේ කිරුළු පළඳවමින්ය. වසරකට උපාධිධාරීන් දහසක් ගණනක් විශ්වවිද්‍යාල වලින් එළිය එන රටක පුන්නියසෙල්වන් ලබා ගත් උපාධිය මේ වතු කම්කරු ප්‍රජාවට මහ මෙරක් සේය. එසේ වන්නට හේතුවක් ඇත.

“අපි අවුරුදු ගානක් පෙරුම් පුරමින් බලා හිටපු වෙනස පුන්නියසෙල්වන් පුතා ආරම්භ කරලා තියෙනවා. අපි හිතනවා මේක ආරම්භයක් පමණයි කියලා” එසේ කීවේ ස්වකීය ජීවිතයේ කිසිදාක වතුකරයෙන් එහා ලෝකයට පය නොතැබූ රාමනාදන්ය.

රාමනාදන්ලා පැවැත එන්නේ වසර එකසිය පනහකට වඩා වැඩි ඉතිහාසයක් ඇති මේ රටේ උඩරට වතු කම්කරුවන්ගෙන්ය. නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ අලංකාර මනරම් පරිසරයකට උරුමකම් කියන වතු කම්කරු දුගී දුප්පත් පවුල් 600ක් පමණ ජීවත්වන යටත් විජිත කාලයේ සිට පැවත එන ඉපැරැණි වතු ගම්මානයක් වන නානුඔය ග්ලැස්කෝ තේ වත්ත ඔහුගේ උපන් ගමය. නාරයනන් පුන්නියසෙල්වන් නියෝජනය කරන්නේ එම ගමේ තෙවන පරම්පරාවේ දරුවන්ය. තවමත් අනේක දුක් පීඩා විඳිමින් අවම පහසුකම් සහිතව මේ රටේ අපා දුකක් ගෙවන මනුෂ්‍යයන් පිරිසක් වන ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාව තමන්ගේ නම ලියාගැනීමට තරම්වත් අධ්‍යාපන තත්ත්වයක් නැති පිරිසක්ය. මෙරට තේ වතු වගාවන්හි කම්කරු සේවයට ස්වදේශිකයන් අකැමැති වීම හේතුවෙන් ඉංග්‍රීසීන් විසින් මේ වතු කම්කරු ප්‍රජාව එදා ඉන්දියාවේ සිට රැගෙනවිත් ඇත්තේ තේ ගස් යට උම්මලකඩ මතුවෙනවා යැයි අමුතුම ලෝකයක් මවා පාමින්ය. එකල ඉන්දියාවේ කොලරාව පැතිරව නරා වළකට වැටෙමින් පැවැති ජීවිතය හමුවේ ඔවුන්ට ඒ මැවූ ලෝකය සුරපුරයක් සේ පෙනුනේය. එහි ප්‍රතිඵලය වූයේ නැව් පිටින් මෙරටට ගෙනා මේ දමිළ ජනතාව හුස්ම ගැනීමටවත් නොහැකි ලැයිම් කාමර වල ගාල් කර වහලුන් සේ තේ වතු කර්මාන්තයේ කම්කරු රැකියාවල යෙදවීමය.

මේ වනවිට අවු 78 වයසැති පුන්නියසෙල්වම්ගේ පියා වන මානික්කම් නරායනන්ද ඔහුගේ පියාගෙන් පසු එම ඉරණමටම ගොදුරු වූවෙකි. දරාගත නොහැකි සීතලේ කඳු හෙල් බසිමින් තේ වතුවල සේවය කළ ඔහ දැන් රෝගාතුරය. මව වන රාමසාමි පුගනලෝචනි වසර 18 ක කාලයක් එම වතුයායේම වතු කම්කරු කාන්තාවක් ලෙසත් ඉන් අනතුරුව වසර 12ක කාලයක් තිස්සේ එම වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සුළු සේවිකාවක් ලෙසත් කටයුතු කරමින් හිඳින්නීය. වේලක් හැර වේලක් හෝ පුන්නියසෙල්වම්ලාගේ පවුලේ බඩ කට පිරුණේද අධ්‍යාපන කටයුතු කෙරුණේද රෝගාතුර වූ පියා රැක බලා ගැනුනේද ඇය ලද සුළු වැටුපෙනි. ඒ කොතරම් අගහිඟකම් මැද්දේ වුව මීට වසර පහළොවකට විස්සකට පෙර වතුකර ජනතාවගේ අධ්‍යාපනය ඉහළ දැමීමට රජය කටයුතු කිරීමේ සීමිත සංවර්ධන ක්‍රියාදාමය හමුවේ අධ්‍යාපනයට පවුල් පසුබිම වැදගත් නොවන බව පුන්නියසෙල්වන් තේරුම් ගත්තේය. ඔහු ඒ අධිෂ්ඨානශීලී ගමන අරඹන්නේ වර්තමානයේ ගරා වැටී දැනට වෙනත් ස්ථානයක ස්ථාපනය කර තිබෙන ග්ලැස්කෝ දමිළ විද්‍යාලයෙනි.

එහෙත් කුඩාකල අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොමැති පුන්නියසෙල්වන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගෙන ඇත්තේ ලකුණු 75 ක් පමණි. ද්විතීක අංශයට යොමු වීමත් සමඟ සිය අධ්‍යාපන මට්ටම ඉහළ නංවා ගැනීමට හා තම දෙමාපියන්ගේ අභිලාෂ ඉටුකර ගැනීමේ අභිප්‍රාය පෙරදැරිව කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය පෙළත් උසස් පෙළත් සමත්ව උසස් පෙළ කලා විෂයන්ගෙන් ප්‍රදේශයේ අටවන ස්ථානය හිමි කර ගැනීමයි. එයින් කොළඹ විශ්වවිද්‍යාලයට ලද ප්‍රවේශය ඔහු අද අවසන් කරගන්නේ අභිමානවත් උපාධියකිනි. පෙර නොලද එම ජයග්‍රහණය ගැන දැන් පුන්නියසෙල්වම්ලාගේ ගමේ උදවිය තුළ ඇත්තේ පුදුම සතුටකි.

ග්ලැස්කෝ වතු යාය සියවසක් බලා සිටි වෙනස ගෙනා නාරායනන් පුන්නියසෙල්වන්

“නානුඔය ග්ලැස්කෝ වතුයායේ වතු කම්කරුවන් වන අපට මේ දරුවා ගෙනාව අභිමානය ඉතිහාසයේ ලියැවෙනවා. අපි මේ දරුවව තමන්ගෙ දරුවෙක් වගේ ඒ අභිමානයත් එක්ක පිළිගත්තෙ ඒකයි. හැබැයි ඒ විතරක් නෙමෙයි. මේ දරුවා අධ්‍යාපනය හදාරනවා වගේම ගමේ ජීවත්වන පවුල් විශාල ප්‍රමාණයක දරුවන්ට සවස් වරුවේ නොමිලේ අධ්‍යාපන කටයුතු වලට උපකාරක පංති කළා. පුන්නියසෙල්වන් අනිත් දරුවන්ටත් ආදර්ශයක් දුන්නෙ එහෙම.” වතු කම්කරුවෙකු අප සමග කීවේය. දමිල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කිරීමට හැකියාවක් ඇති පුන්නියසෙල්වන්ටද ඔහුගේ මේ ජයග්‍රාහී ගමන ගැන පැවසීමට ඇරයුම් කළෙමු.

“මම හැදුණේ වැඩුණේ තේ වත්තේමයි. අම්මයි තාත්තයි වැස්සේ තෙමිලා අව්වේ වේලිලා වත්තෙ මහත්තුරුන්ගෙන් නොසෑහෙන්න බැනුම් අහලා නොකා නොබී ඉඳලා අපා දුකක් විඳලා වැඩ කරලා ලබන වැටුපෙන් අපි හතර දෙනා ජීවත් වුණා. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ මට මහපොල ශිෂ්‍යත්ව අරමුදල ලැබුණා. ඊට අමතරව මගේ ආර්ථික පසුබිම සලකලා කිහිප දෙනකු මට බාහිර පන්ති වලින් අධ්‍යාපනය ලබන්න උදව් කළා.

වත්තේ වැඩ කරන පවුලක ළමයෙක් කියලා තැනකට ගිහින් අපිව හඳුන්වා දෙන අවස්ථාවලදී ගොඩක් අය අපිව ඒ තරම් ගණන් ගත්තේ නෑ.

වතු කම්කරුවෙකුගේ දරුවෙක් කිවුවහම බහුතරයකගෙ මතයක් වෙලා තිබුණේ අනාගතයේ දවසක අපේ අම්මා තාත්තා සොච්චම් පඩියට කරපු ඒ රැකියාවම අපිත් තෝරාගත යුතුයි කියලා. පරම්පරා ගානක් එහෙම වෙලා තියෙනවා. ඒත් එහෙම තෝරගන්න තරමට අපි මෝඩ නොවිය යුතුයි. මොකද ඉගෙන ගන්න අපේ පවුල් පසුබිම වැදගත් වෙන්නේ නැ. උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් අධ්‍යාපනයේ ඉහළ තැනකට යන්න පුළුවන්. මම ශිෂ්‍යත්ව විභාගයෙන් ගත්තේ ලකුණු 75යි. ඒ ලකුණු ආපු දවසෙ මගේ අම්මා ගොඩක් දුක්වුණා. එදා අම්මා මට කිව්වේ මම ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියං ඉන්නවා මගේ පුතේ. ඔයා අනිත් අය වගේ වත්තේ වැඩට යන්න හිතන් ඉගෙන ගන්න එපා. හැමෝම කතා කරන තරමට වත්තෙන් ඉහළට ගිහින් කාර්යාලයක වැඩ කරන්න පුළුවන් තත්ත්වයකට ඉගෙන ගන්න කියලා.

අද මම මගේ අම්මා හිතුවටත් වඩා හොඳ තැනකට යන්න අඩිතාලම හදාගෙන තියෙන්නේ. මේ තැනට මට යන්න ශක්තිය වරම දුන්න මගේ අම්මට බොහොමත්ම පින් සිද්ද වෙන්න ඕන. මගේ ඊළඟ බලපොරොත්තුව ලෝකේ පිළිගත්ත විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබා ගැනීම. ඒකට මම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාගේ සහය මත.

ලොකු සල්ලියක් ඒකට වියදම් වෙනවා. ඒක අපෙ අම්මට කොහොමත් කරගන්න බෑ මම ඒ වෙනුවෙන් උදව් කරන්න කැමති අයගෙන් උදව් බලාපොරොත්තු වෙනවා. මම ආචාර්ය උපාධිය ලබා ගත්තට පස්සේ තේ වතු ආශ්‍රිතව වැඩ කරන ජනතාවටම වැඩක් කරන්න පුළුවන් සුදුසු රැකියාවක් සොයාගෙන අපේ ජනතාවට වැඩ කරන්න තමයි මගේ බලාපොරාත්තුව. මට හරි හැටි රස්සාවක් ලැබුණු ගමන්ම මම කරන්න හිතාන ඉන්න මුල්ම වැඩේ තමා අපේ අම්මව වැඩට යන එකෙන් නතර කරලා එයා මෙච්චර කාලයක් වින්ද දුක් වලට හරියන්න සැප සම්පත් සහිත ජීවිතයක් ලබා දෙන්න. මං ඒකට ගොඩක් ආසයි මට තියෙන ලොකුම හීනයක් ඒක.

ග්ලැස්කෝ වතු යාය සියවසක් බලා සිටි වෙනස ගෙනා නාරායනන් පුන්නියසෙල්වන්
උපාධි ප්‍රදාන උත්සවයේදි සිය මව සමග

මම ඉගෙන ගත්තේ දේශපාලන විද්‍යාව වුණත් අපේ රටේ දේශපාලනය පිළිබඳව මම ඉන්නේ දැඩි කලකිරීමකින්. අපි එදා හිටපු තත්ත්වයෙන්ම තමයි තවමත් ඉන්නේ. වතුකරයේ ජීවත්වන ජනතාවට තනි නිවාසයක් කියන්නේ තාමත් සිහිනයක්. අවුරුදු ගාණක් පොඩි පඩියකට වැඩ කරන්නේ අපේ මිනිස්සු. හැම ඡන්දයකදී ම දේශපාලකයො ඇවිත් පෙන්නන්නෙ පුදුමාකාර සුරංගනා ලෝකයක් ඡන්දෙ දින්න ගමන් පඩිය වැඩිකරල දෙනවා කියලා කියනවා ඒත් අපේ මිනිස්සු තාම වැඩ කරන්න සොච්චම් පඩියකට. වතුකරය නියෝජනය කරන දේශපාලඥයන් මට ආරාධනා කළොත් මම ඉගෙන ගත්ත දෙයින් වතුකරයේ ජනතාවට මීට වඩා යමක් කරන්න පුළුවන් අදහසක් මම ඒ අයට ලබා දෙන්න සූදානම්.

තවත් මං වගේ වතුකරයේ ළමයි ගොඩක් ඉන්නවා උපාධියක් ලබා ගන්න බලාපොරොත්තුවෙන්. ඒ අයට දැනටමත් මම නොමිලේ නිවස තුළම පන්ති පවත්වනවා. ඉදිරියේදී මහා පරිමාණයෙන් නොයෙක් අයගේ සහයෝගයත් සමගින් අපේ ගමේ ඉන්න අහිංසක දුප්පත් ළමයින්ට උපකාරක පන්ති කරන්න බලාපොරොත්තු වෙනවා ඒත් මම සතයක්වත් ඒ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

වතුකරයේ ජනතාව කිව්වම කවුරුත් ගණන් ගන්නේ නෑ අපිව. ඒ ඇයි කියලා මම දන්නේ නෑ. අපි හොඳින් ඉගෙන ගත්තම අපිට වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා වතුකරයේ අධ්‍යාපනය ලබන සියලුම නංගිලා මල්ලිලා හොඳින් ඉගෙන ගන්න ඕනි අම්මලා තාත්තලා විඳින දුකෙන් ඔවුන් මුදාගෙන අපි මේ රටට වැඩක් කළ යුතුයි. මම වත්තට එනකං හීනෙකින්වත් හිතුවේ නෑ ඒ වගේ පිළිගැනීමක් මට කරයි කියලා. එකෙන් මට තේරෙන්නේ අපි හොඳට ඉගෙන ගත්තම ඒගොල්ලන්ට ආඩම්බරයක් ලැබෙන බව.” පුන්නියසෙල්වන් කියන්නේය.

පුන්නියසෙල්වන් ලබා දුන් මේ ආදර්ශය දැන් ග්ලැස්කෝ වතු කම්කරුවන්ට අමුතුම උත්තේජයක් ගෙන දී ඇත. ඔවුන් බොහෝ දෙනෙක් දැන් පසු වන්නේ පුන්නියසෙල්වම්ට මෙන් තමන්ගෙ දරුවන්ටද කෙසේ හෝ අධ්‍යාපනය ලබා දිය යුතුය කියාය. අපි හිතනවා අපේ අනිත් දරුවොත් පුන්නියසෙල්වම්ගෙ අඩි පාරෙ යයි කියල. අපි හැමදාම කාට කාට හරි යටත් වෙලා තමයි හිටියෙ. ඒ අය කියන කියන විදිහට තමයි අපි වැඩ කළේ. ඒ වෙලාවට හිතට දැනෙන්නේ පුදුමාකාර වේදනාවක්. ලොකු ලොකු පුටුවලට අපේ අයම පත්වුණා නං අපි ගැන අනුකම්පාවෙන් බලයි කියලා අපිට හිතෙනවා. ඒත් අපේ අයට ඒ තරමට ඉගෙනගන්න වරම් තිබ්බෙ නැහැ. දැන් ලොකු සතුටක් දැනෙනවා මේ පුතා ඒවගේ ලොකු තැනකට ආවා නම් එයා දන්නවා අපි විඳින දුක මොකක්ද කියාලා. මොකද එයාගේ අම්මයි තාත්තයි අපි කරන රැකියාවම තමයි කරන්නේ. අනාගතයේ අපේ දරුවනුත් මේ තැනට යවන්න ඒ පුතාගේ උදව් එක්ක අපිත් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරනවා යනුවෙන් ගම්වැසියන් සඳහන් කළේය.

නාරයනන් පුන්නිය සෙල්වන් ලද මේ උපාධිය වතු කම්කරු ප්‍රජාවගේ අනාගත නව මාවතක් විවර වීමක් වන බව සතුටට කරුණක්ය. එහෙත් ලෝකය සමානත්වය සහ මනුෂ්‍යත්වය ගැන කතා කරන යුගයක පුන්නියසෙල්වම්ගේ උපාධිය විශේෂ කොට ලිවීමට සිදුවූ බාහිර සාධක ගැන සිතෙන විට මනුෂ්‍යයන් ලෙස අපිට ඇත්තේ ලැජ්ජාවකි. පුන්නියසෙල්වම්ලා අතරින් උපාධිධාරියෙකු බිහිකිරීමට ප්‍රමාද වීම ගැන මේ රට කරවූ පාලකයන්ට එය දැන්වත් දැනේදැයි නොතේරේ.

තිස්ස ගුණතිලක
නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment