ගාඩ් බුළුගහගොඩදී දුම්රියෙන් වැටිලා… දැනගත්තේ ගම්පහදී

1051

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ඊයේ (16දා) ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා බුළුගහගොඩදී දුම්රියෙන් බිමට ඇදවැටී රෝහල්ගත කර තිබේ.

මේ හේතුවෙන් වෙනත් නියාමකවරයකු යොදවා ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට දුම්රිය ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීමට නියාමකවරයාගෙන් සංඥා ලැබී නොමැති අතර පසුව සොයා බැලීමේදී නියාමකවරයා නියාමක මැදිරියේ ද දක්නට සිට නැත.

අනතුරුව සොයා බැලීමේදී දුම්රිය ධාවනය වෙමින් තිබියදී බුළුගහගොඩ ප්‍රදේශයේදී නියාමකවරයා දුම්රියෙන් බිමට ඇදවැටී රෝහල්ගත කර ඇති බව හෙළිවී ඇත.

නියාමකවරයා දුම්රිය මාර්ගයේ සංඥා දෙස බැලීමට දොර අසලට යෑමේදී දුම්රිය ගැස්සීමත් සමග දොරෙන් එළියටම විසිවී ඇතැයි හෙළිවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවැසීය.

තුවාල ලැබූ දුම්රිය නියාමකවරයා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද හෙතෙම කීය.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කේ.එච්. රංජිත් නමැති 55 හැවිරිදි දුම්රිය නියාමකවරයෙකි.

කොළඹ කොටුවේ සිට මහනුවර බලා යමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙන් වෙනත් නියාමකවරයකු ගම්පහ දුම්රිය ස්ථානය බලා යැවීමට පියවර ගත් බවද දුම්රිය නි. සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කැලණිය- මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment