ගාඩි සහ සහෝ මංගල දර්ශන 7 වැනි යාපනය ජගත් සිනමා උළෙලේදී

175

නොකඩවා හත්වැනි වරටත් පවත්වන යාපනය අන්තර් ජාතික සිනමා උළෙල මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයීය කෛලාසපති ශ‍්‍රවණාගාරයෙදී පැවැත්වේ. අදියර තුනක් යටතේ පැවැත්වෙන හත්වැනි යාපනය අන්තර් ජාතික සිනමා උළෙලේ මේ වනවිට ක‍්‍රියාත්මක වන්නේ අවසන් අදියර වන අතර ලබන 14 වැනිදා සිනමා උළෙලේ සමාප්තිය සනිටුහන් වේ. 2021 දෙසැම්බර් 26 වැනිදා ඇරඹි මෙවර සිනමා උළෙල සඳහා ලොව පුරා රටවල් 15 ක දීර්ඝ වෘතාන්ත චිත‍්‍රපට 18 ක් අවසන් වටයේදී තරග වදිනු ලබන අතර ඊට ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘‘ගාඩි’’, ආචාර්ය ආරියරත්න ඇතුගල අධ්‍යක්ෂණය කළ ‘‘සහෝ’’, ඇජෙන්ඩා 14 වෙනුවෙන් අනෝමා රාජකරුණා නිෂ්පාදනය කළ ‘‘ කළම්බො නයිට්’’ සිංහල චිත‍්‍රපට ත‍්‍රිත්වය ඇතුළත්ය.

එසේම මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදර්ශනය නොවූ ප‍්‍රසන්න විතානගේ ගේ ‘‘ ගාඩි’’ සහ ආචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘‘ සහෝ ’’ චිත‍්‍රපට දෙකේ මංගල දර්ශනය යාපනය සිනමා උළෙලේදී පැවැත්වීමය.

ගාඩි සහ සහෝ මංගල දර්ශන 7 වැනි යාපනය ජගත්  සිනමා උළෙලේදී

යාපනය අන්තර් ජාතික සිනමා උළෙල ශ‍්‍රී ලංකාවේ නොකඩවා පැවැත්වෙන එකම අන්තර් ජාතික සිනමා උළෙල ලෙස සැලකේ. ඇජෙන්ඩා 14 ආයතනයේ මූලිකත්වයෙන් සිලෝන් තියටර් සමාගම සහ යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා පීඨය එක්ව සංවිධානය කරන මෙම සිනමා උළෙල මෙතෙක් පැවති සිනමා උළෙල සම්ප‍්‍රදාය වෙනස් කිරීමට සමත් සිනමා උළෙලක් බවට පත්ව ඇති බව එම උළෙලේ සංවිධායිකා අනෝමා රාජකරුණා පවසන්නීය.

‘‘සාමාන්‍යයෙන් චිත‍්‍රපට උළෙලක් කෙරෙන්නෙ සතියක කාලයක්. නමුත් අපි 2020 දී මාස තුනක කාලයක් සිනමා උළෙල පැවැත්වූවා. ඒ කාලය තුළ අපි සතියකට සැරයක් කුඩා වැඩසටහන් විදියට චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කළා. සම්මාන උළෙල පැවැත්වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේ. සතියකින් සියල්ල අවසන් නොකර සතියක දවසක් අරගෙන චිත‍්‍රපට ප‍්‍රදරශනය සම්මන්ත‍්‍රණ පවත්වා තෙමසක් තිස්සේ සිදුකළ මේ ආකෘතිය වඩා සාර්ථක වුණ නිසා මෙවරත් එම ආකෘතිය මත අදියර තුනක් යටතේයි සිනමා උළෙල පැවැත්වෙන්නෙ. අන්තර් ජාතික චිත‍්‍රපට උළෙලයන්ට මැදිහත්වන ජාත්‍යන්තර සංවිධායකයන් පවා මේ ආකෘතිය

ගැන පැහැදි ලෝකයේ වෙනත් චිත‍්‍රපට උළෙලයන්ටත් මේ ක‍්‍රමය අනුගමනය කරන ලෙස යෝජනා කර තිබෙනවා.’’ යැයි ඇය කීවාය.

තරගකාරී අංශ තුනක් යටතේ ක‍්‍රියාත්මක යාපනය අන්තර්ජාතික සිනමා උළෙල හොඳම කුළුඳුල් සිනමා නිර්මාණය, හොඳම අන්තර් ජාතික කෙටි චිත‍්‍රපට නිර්මාණය සහ සිලෝන් චිත‍්‍රපට සඳහා වන ජාතික චිත‍්‍රපට තරග අංශයෙන් ජයග‍්‍රාහකයන් සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය.

එසේම සිනමා උළෙලේදී ජීවිතයේ එක් වරක් පමණක් සිනමා ක්‍ෂේත‍්‍රයට අදාළව පිරිනමන යාව ජීව සම්මානය මෙවර දෙදෙනකුට හිමිවන අතර සිනමා විචාරකයෙකු ලෙස කළ සේවය වෙනුවෙන් ආතර් යූ. අමරසේන මහතාද සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස කළ සේවය වෙනුවෙන් යෝ දේව් ආනන්දන් මහතාද එහිදී සම්මානිත වීමට නියමිතය.

  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment