ගාමිණී ෆොන්සේකා ගීතය හා කවිය

1171

ශී‍්‍ර ලාංකේය සිනමාවේ අග‍්‍රගණය රංගධරයකු ලෙස ස්වකීය ප‍්‍රතිභාව දායාද කළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා කලාකරුවාණන් දැයෙන් සමුගෙන අදට වසර 17කි. අද මෙහි පළවනුයේ ඔහුගේ රංගන ජීවිතය ගැන නොව ඔහු තුළ සැඟවී තිබුණු කවීත්වය, ගේය පද රචනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිදු කළ සඳහනකි. විශේෂ ස්තුතිය සිනමා සක්විති ගාමිණී ග‍්‍රන්ථය ලියූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඒ. ඞී. රංජිත් කුමාර මහතාට

ගාමිණී ෆොන්සේකා ගීතය හා කවිය
ගාමිණී සහ සුනිල් ආරියරත්නයන්

මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක්
තනයි මාලිගා………අහසේ
කිරුළු පලන්දන කාටත් නැති
රජ කරවන්නට පුතෙකු නැති

අතීතයක් මිස හෙටක් නැති
මිහිපිට බිම් අ`ගලක් නොමැකී
මිනිසෙක් තනනා
මාලිගා….. මාලිගා…..

චිත‍්‍රපටය – නොමියෙන මිනිස්සු
අධ්‍යක්ෂණය හා ගේය පද – ගාමිණී ෆොන්සේකා
ගායනය – ආචාර්ය පණ්ඩිත් අමරදේව

ගාමිණී ෆොන්සේකා ගීතය හා කවිය
සරුංගලේ සහ මයුරිගේ කතාව

විලියම් වර්ඞ්ස්වර්ත්, කවියා යන පදය නිර්වචනය කරන්නට උත්සාහ දැරුවෙ මෙලෙසිනි. කවියා වනාහි මනුෂ්‍යයින්ට කවි කියන මනුෂ්‍යයෙකි. එමෙන්ම මනුෂ්‍ය සංහතිය තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවාට වඩා ප‍්‍රමාණවත් හැඟීම් සමුදායක් ද උද්‍යෝගයක් ද කරුණාවන්තකමක් ද ඇත්තෙකි. ඔහුට මනුෂ්‍ය ස්වභාවය ගැන පැහැදිලි දැනීමක් තිබේ. අන් අයට වඩා පුළුල් අධ්‍යාත්මික ශක්තියක් තිබේ. වර්ඞ්ස්වර්ත් පමණක් නොව පෙර අපර දෙදිග බොහෝ විද්වතුන් ‘කවියා’ සම්බන්ධයෙන් පැවසූ නිර්වචන දෙස බලන විට අපට හැඟී යන්නේ එය කුදු මහත් සකලවිධ කලාකරුවන් හැඳින්වීම සඳහා යෙදූ පදයක් ද යන්නයි. මන්ද, සෑම කලාකරුවකු තුළම කවීත්වයක් පිහිටා තිබෙන හෙයිනි. ඇතැම් කලාකරුවන් සිය කවීත්වය කවිය මගින් මුදා හරින අතර ඇතැම් කලාකරුවන්ගේ කවීත්වය අප දකින්නේ ඔහුගේ විද්‍යා මූර්තිය, සංගීත නිර්මාණය, නාටකය හෝ සිනමා කෘතිය තුළිනි. ගාමිණී ෆොන්සේකා සිය සිනමා කෘති තුළින් කවීත්වය පළ කළ කලාකරුවකු පමණක් නොව කවියෙන් ද සිය කවීත්වය පළ කරන්නට වෑයම් කළ පුද්ගලයෙකි. මගේ වඩාත් සමීප ඇසුර ගාමිණී ෆොන්සේකා නමැති සිනමා කරුවා සමග නොව ගාමිණී ෆොන්සේකා නමැති කවියා සමගය.

ගාමිණී ෆොන්සේකා ගීතය හා කවිය

මීට දසක පහකට පමණ පෙරාතුව ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් දුරකථන පණිවුඩයක් මගින් හඳුන්වා දෙනු ලැබූ මා ගාමිණී ෆොන්සේකා හමුවට ගියේ සරුංගලේ චිත‍්‍රපටයේ මූලික කතාබහ සඳහා ය. එහෙත් එම ප‍්‍රථම හමුවීම කවි රස විඳීමේ සැඳෑවකට පරිවර්තනය වූ හැටි මතකය. පරසතු මල් චිත‍්‍රපටයේ බොනී මහත්තයා කවියට, ගීයට, සංගීතයට, චිත‍්‍රයට ඇලූම් කළේ යම් සේ ද එසේම මෙම පුද්ගලයා ද ඒ සෑම කලාවක් පිළිබඳව ම ඉහවහා ගිය ආදරයක්, ආශාවක්, කුතුහලයක් ඇති පුද්ගලයකු බවට මට වැටහිණි. චිත‍්‍රපටයක චරිතයක් සඳහා ඇතැම් විට ගස් වටේ දුවමින් කසි කබල් ගීයක් ගැයූ ගාමිණී ෆොන්සේකාත් ගැඹුරු වින්දනයක් ඇති භාවාත්මක ගීයක් වචනයෙන් වචනය ගෙන රස කරමින් හුදෙකලාව රස විඳින ගාමිණී ෆොන්සේකාත් අතර සුවිසාල පරතරයක් ඇති බව මට වැටහිණි. කවි ගී රසවිඳිනවා හැරෙන්නට කවි ගී රචනයෙහි ද ඔහු නියැලී සිටින බව මා දැනගත්තේ ටික කලකට පසුවය.

ගාමිණී ෆොන්සේකා ගීතය හා කවිය

ගාමිණී ෆොන්සේකාගේ බොහෝ රචනා කුරුටු ලිපිය. කුරුටු ලිපි අවදියෙහි තමා විසින්ම රස විඳිනු ලැබූ ඒවා බොහොමයක් කුණු කූඩයට යන බැවිනි. ලිපි ගොනුවක ශේෂ වූයේ කවියක් හෝ දෙකකි.

මල හිරු බැස ගිය ගොම්මන් අඳුරේ
කය නැති ලොවකට පාවී ආ ඔබ
අවදි ලෝකයට ඇතුළුවනු එපා.

දෑස පෙනෙන උන් හට නෑ කවි රස
අඳුරු නුවන් දන්නා ඒ ගී බස
නෙත් නැති අපටම උරුම කරන්
අමාවකේ සඳ තරු නැති අඳුරේ

ගාමිණී ෆොන්සේකා ගීතය හා කවිය

අමරදේව, සුනිල් ශාන්ත වැනි අති ප‍්‍රකට කලාකරුවන් පසු බිමෙහි හෙළ හවුල් වියතුන් සිටි සේම ගාමිණී ෆොන්සේකාගේ සාහිත්‍ය රසය පසුබිමෙහි සිටින්නේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දී ඔහුගේ සිංහල ගුරුවරයා වූ අරිසෙන් අහුබුදු බව පැහැදිලිය. එහෙත් ඔහුගේ බොහෝ කුරුටු ගී මහගමසේකර ප‍්‍රමුඛ නිදහස් කවීන්ගේ නිර්මාණ කියවීම නිසා පිබිදුනු කල්පනාවෙන් රචනා වී ඇතැයි මට සිතේ.

එළියකැයි සිතා ගින්නක් ලූහුබැඳ
දැවී පෙලී මියදෙන පලඟැටියකු
දුටුව සත්‍යයේ දහමට පිටුපා
කරමි පේ‍්‍රමයේ ප‍්‍රාර්ථනා

ගාමිණී ෆොන්සේකා කවි, ගී ලියන්නේ පුවත්පත්වල පළ කිරීම සඳහා හෝ ගායක ගායිකාවන් ලවා ගායනා කිරීමට නොව හුදු ආත්ම තෘප්තිය සඳහාය. එහෙත් ඔහුගේ ඇතැම් රචනා අමරදේව, වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක, අබේවර්ධන බාලසූරිය වැනි ගායක ගායිකාවන් ගායනා කර තිබේ.

සොඳුර නුඹ මට මව් වෙයන්
ඉපදෙන මතු බව කුසේ

අහිමි වුණත් නුඹ ළඳේ මට
අඬන්න අවසර නෑ!

සැතපුම් දහසක් ඈත එපිට ඔබ
සිටියත් මා ඉන් මෙහා රටේ

තමාගේ ප‍්‍රබන්ධයක වචනයක් හෝ වෙනස් කිරීමට සංශෝධනය කිරීමට ඇති බලවත් අකමැත්ත මා ගාමිණී ෆොන්සේකා කෙරෙහි දුටු පුදුම සහගත ලක්‍ෂණයකි. ඔහු ලියු සරුංගලේ චිත‍්‍රපටයේ ‘බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ’ ගීතය මුලින්ම කියවූ දාත් මයුරිගේ කතාව චිත‍්‍රපටයේ ‘සුදෝ මම ආදරෙයි’ ගීය කියවූ දාත් මම ඇතැම් වචන පිළිබඳ මගේ මතය පළ කළෙමි. එහෙත් ඒවා වෙනස් කිරීමට ඔහු කැමති වූයේ නැත. එක් අතකින් මෙම දරදඬු බව නිර්මාණකරුවකුට විපත්තිදායක වුවත් තවත් අතකින් සිය නිර්මාණයන් පිළිබඳව ස්වයං විනිශ්චයක් දීමට නරක නැත. ප‍්‍රතිභා ශක්තියෙන් පමණක් හොඳ කලාකරුවකු විය නොහැකිය. ඇතැම් කලාකරුවන් තුළ දිදුලමින් පවතින ප‍්‍රතිභාව දැඩි නියංසායකට අසුවූ ජල ධාරාවක් සේ සිඳී යන්නේ ඔවුන් පත පොතින් ද ජීවිතයෙන් ද ලබන අත්දැකීම් තුළින් සිය ප‍්‍රතිභා ශක්ති වැඩි වර්ධනය කර ගැනීමට උත්සාහ නොකරන හෙයිනි. ගාමිණී ෆොන්සේකා පෙර අපර දෙදිග සමාජය දේශපාලනය සංස්කෘතිය සහ සාහිත්‍ය සම්බන්ධයෙන් නිරන්තරව කියවන පුද්ගලයෙකි. බොහෝකොට මුදලාලිලා අතරේ ජීවත් වුව ද බුද්ධිමතුන්ගේ සහ කලාකරුවන්ගේ පි‍්‍රය සංගමය හෘදයංගමව අපේක්ෂා කරන පුද්ගලයකු ඒකචාරි සිංහයකු මෙන් හුදෙකලාව වෙසෙන බවක් ඔහු කෙරෙන් ගම්‍යමාන වුවත් රටේ ලෝකේ එදිනෙදා සිදුවන ජීවන සංසිද්දීන් වහා ග‍්‍රහණය කරගන්නා පුද්ගලයෙකි. ඒවා තමාගේ ආත්ම තෘප්තිය සඳහා කරන කවි, ගී, නිර්මාණවලදී මතු නොව සිය රංගන කාර්ය සහ අධ්‍යක්ෂණ කාර්යයන් සඳහා අනලස්ව උපයෝගී කර ගන්නා පුද්ගලයෙකි. ඔහුගේ සාර්ථකත්වයේ රහස එයයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න

ගාමිණී ෆොන්සේකා ගීතය හා කවිය
advertistmentadvertistment
advertistmentadvertistment