ගාල්ලේදී ලද ජය රැල්ලක් කර ගැනීමට…

457

‘‘මේ තණතීරුව සාමාන්‍ය ගාල්ල තණතීරුවමයි. වෙනසක් නැහැ. එන්න එන්නම පන්දුවට පහර දෙන්න අමාරු වෙනවා.’’

ගාල්ල අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තණතීරුව පිළිබඳව හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් දැරුවේ එවැනි මතයකි. මාස අටකට පසුව ජාත්‍යන්තර තරග පිටියට අවතීර්ණ වුවත් මැතිව්ස් සහ නායක දිමුත් කරුණාරත්න ශ‍්‍රී ලංකාව පසුගියදා ලද ජයග‍්‍රහණයේ වැඩිම ලකුණු ලාභීයෝ වූහ. එතරම් කලකට පසු ක‍්‍රිකට් පිටියට ආවත් දිමුත් සහ මැතිව්ස්ගේ පිතිහරඹය ගාල්ල පිටිය වර්ණවත් කළහ. ඒ පිතිහරඹයේ සවියෙන් ජයග‍්‍රහණයට අඩිතාලම යොදා ගත් නවක දඟ පන්දු යවන්නෝ සංචාරක කොදෙව්වන් අමාරුවේ දැමූහ. ප‍්‍රතිඵලය වූයේ දෙවැනි ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන්ම ජයග‍්‍රහණය හිමි වීමයි. එම ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් ශූරතා තරගාවලියට යහපත් ප‍්‍රවේශයකි.

පළමු ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට හිමි වුයේ 8 වැනි ස්ථානයයි. ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටියේ බංගලාදේශය පමණි. ශ‍්‍රී ලංකාව 8 ට වැටුණේ ජයග‍්‍රහණ දෙකක් පමණක් ලැබීම මතය. තරග 12 කට සහභාගී වුණි. ඉන් පරාජ 6 ක් විය. නොවිසඳුණු තරග 4 කි. ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාකරන රටක් ලෙස ශ‍්‍රී ලංකාව එම තරගාවලියේදී අත්කරගත් ප‍්‍රතිඵලය සතුටුදායක නොවේ. ජයග‍්‍රාහී ප‍්‍රතිශතය සියයට 27.8 කි. ප‍්‍රසාද ලකුණු ගණන 200 කි.

ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ වූයේ ප‍්‍රසාද ලකුණු මත නොව ජයග‍්‍රාහී ප‍්‍රතිශතය මත අවසන් තරගයට සුදුසුකම් තේරීමේ පදනම මතය. ඒ අනුව නම් ශ‍්‍රී ලංකාව මේ ලද ජයග‍්‍රහණයත් සමඟ දෙවැනි ලෝක ශූරතා ටෙස්ට් තරගමාලාවේ අංක එකට දැනට ශ්‍රේණිගතව සිටියි. ඒ සහභාගී වූ පළමු තරගයම ජයගෙන සියයට සියයක ජයග‍්‍රාහී ප‍්‍රතිශතයක් ලබා ගනිමිනි.

මේ ස්ථානයේ ශ‍්‍රී ලංකාවට සැමදා රැඳී සිටිය හැකිද යන්න ප‍්‍රශ්නයකි. එය තීරණය වන්නේ තරග දිනන ප‍්‍රතිශතය මතය. හෙට (29දා) ශ‍්‍රී ලංකාව කොදෙව්වන් සමඟ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වේ. එම තරගය පැවැත්වෙන්නේද ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීය. එම තරගයද ජයගත හොත් ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රාහී ප‍්‍රතිශතය සියයට සියයේම පවත්වාගත හැක. පැරදුණොත් සියයට පනහට බහී.

ගාල්ලේදී ලද ජය රැල්ලක් කර ගැනීමට…

එහෙත් ශ‍්‍රී ලංකාව මේ සිටින්නේ ජයග‍්‍රාහී මාවතේය. සංචාරක කොදෙව් කණ්ඩායම දෙස බලද්දී ඔවුන්ට ගාලූ තණ තීරුවේ ප‍්‍රාතිහාර්යයක් පෑම සිදුකළ නොහැකි බව පෙනේ. මන්ද ශ‍්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ හමුවේ අන්ද මන්ද වුණ හැටි තවමත් කොදෙව් ක‍්‍රීඩකයන්ගේ මනස තුළ දෝංකාර දෙනවා ඇත.

ලසිත් ඇඹුල්දෙණිය, ප‍්‍රවීන් ජයවික‍්‍රම මතු නොව රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුද කොදෙව්වන්ට එක තරගයකින් තේරුම් ගත හැකි වනු ඇතැයි සිතිය නොහැක. මැතිව්ස් පසුගිය තරගයේදී කළ ප‍්‍රකාශය පරිදිම ගාල්ල තණ තීරුවේදී එන්න එන්නම පන්දුවට පහරදීම අසීරුය. දඟ පන්දු හමුවේ පහරදීම ඊටත් වඩා භයානකය. එමතු නොව ගාල්ලේදී ශ‍්‍රී ලංකාවට වාසනාවද හිමිය. ගාල්ලේදී ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රහණ ප‍්‍රතිශතය සියයට 60 මට්ටමේ පවතී. ගාල්ල ශ‍්‍රී ලංකාවට අවාසනාවන්ත ටෙස්ට් පිටියක් නම් අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනයේ ඇද හැළුණු වර්ෂාව ඊට විනාඩි 5 කට පෙර කඩා වැටෙන්නට තිබුණි. එසේ වූවා නම් ශී‍්‍ර ලංකාවේ බලාපොරොත්තු වැස්සට සේදී යන්නට තිබුණි. එහෙත් අහස් කුස අමාරුවෙන් වළාකුළු හිරකරගෙන සිටියාමෙන් ශ‍්‍රී ලංකාව ජය ලැබීමෙන් පසුව වැසි පතිත විණි. ක‍්‍රීඩාංගණය වැසි ආවරණවලින් වැසී ගියේය.

ශී‍්‍ර ලංකා නායක දිමුත් කරුණාරත්න පසුගිය තරගයේ වීරයා වූයේය. ඊට හේතු වූයේ පළමු ඉනිමේදී ඔහු රැස්කළ ලකුණු 147 සහ දෙවැනි ඉනිමේදී රැස්කළ ලකුණු 83 යි. එම ශතකය සහ අර්ධ ශතකයට පෙර පැවැති අවසන් තරගයේදීද දිමුත් ඉනිම් දෙකේදී ශතයකයක් සහ අර්ධ ශතකයක් රැස් කළේය. ඊට පෙර ඉනිමේදී දිමුත්ගෙන් වාර්තා වූයේ ශතක අර්ධ ශතක නොව ද්විත්ව ශතකයකි. ඒ ද්විත්ව ශතකයට පෙර ඉනිමේදී තවත් අර්ධ ශතකයකි. ඒ අනුව පහුගිය ඉනිම් 6 තුළ දිමුත් පිළිවෙළින් ලකුණු 75, ලකුණු 244, ලකුණු 66, ලකුණු 118, ලකුණු 83 සහ ලකුණු 147 ක් රැස්කර ඇත. එහි ඉනිමක සාමාන්‍ය ගත් කළ ලකුණු 122 ඉක්මවයි. එමතු නොව මෙම වසර තුළ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර තෙවැනි තැනට දිමුත් පත්ව සිටී. ඔහු එහිදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 854 කි. එම ලකුණු සංඛ්‍යාව දෙවැනි වන්නේ එංගලන්ත නායක ජෝ රූට් රැස්කර ඇති ලකුණු 1455 ට සහ ඉන්දියාවේ රෝහිත් ෂර්මා රැස්කර ඇති ලකුණු 906 ට පමණි. එහෙත් මේ ලකුණු සංඛ්‍යාවන්ට අවතීර්ණ වීමේදී ජෝ රූට් තරග 12 කටද, ෂර්මා තරග 11 කටද සහභාගි වී ඇත. දිමුත් ක‍්‍රීඩාකර ඇති තරග ගණන 6කි. එසේම දිමුත්ගේ එක් ඉනිමක සාමාන්‍ය අගය වන 77.63 රූට්ට සහ ෂර්මාට වඩා වැඩිය. ඒ අනුව 2021 වසරේ වැඩිම ටෙස්ට් ලකුණු සාමාන්‍ය හිමි පිතිකරුවා බවට එහි දැනට ඉහළින්ම සිටින්නේ දිමුත්ය.

තරගයෙන් අනතුරුව දිමුත් සිය පෞද්ගලික අරමුණක්ද හෙළිදරව් කළේය.

‘‘අනිවාර්යයෙන්ම ටෙස්ට් ලකුණු 10000 ලබා ගැනීම තමයි මගේ ටාගට් එක වෙලා තිබෙන්නේ. ඒ ඉලක්කය මගේ අරමුණයි.’’

දිමුත් මේ වනවිට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රැස්කර ගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 5406 කි. ඔහු සිය ඉලක්කයට ලකුණු 4594 ක් තවමත් මෙපිටින් සිටී. එහෙත් හෙට ඇරඹෙන තරගයේදී ඔහු තවත් ලකුණු 96 ක් රැස් කළහොත් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ පිතිකරුවන් අතර පියවර 3 ක් ඉදිරියට ඒමට දිමුත්ට හැකිය. ඔහු දැනට සිටින්නේ 9 වැනි ස්ථානයේ වන අතර තිලාන් සමරවීර ලකුණු 5462 ක්, ටී. එම්. ඩිල්ෂාන් ලකුණු 5492 ක් සහ මාවන් අතපත්තු ලකුණු 5507 ක් රැස්කර එම සටහනේ පළිවෙලින් අංක 08,07 සහ අංක 06 ස්ථානවල රැඳී සිටිති.

‘‘ඒ වගේම ටෙස්ට් තරග 100 ක් ක‍්‍රීඩා කිරීමත් මගේ ඔලූවේ තිබෙනවා. මේ රිද්මයෙන් ගියොත් මං හිතනවා ලකුණු 10000 සීමාවට ළං කරන්න පුළුවන් කියලා. ඒ වගේම සමහර මැච් ඉවර වුණාම මම බලනවා ලකුණු ලාභීන් අතර මම දැන් ඉන්නෙ කුමන ස්ථානයේද කියලා. ඒ තැන් වලින් පොඞ්ඩ පොඞ්ඩ උඩට යන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.’’

එසේ ප‍්‍රකාශ කර දිමුත් මේ වනවිට ක‍්‍රීඩා කර ඇති ටෙස්ට් තරග ගණන 73 කි. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු දසදහස ඉක්මවූ පිතිකරුවන් වන්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණි. මැතිව්ස් තරග 91 කදී ලකුණු 6308 කි. දිනේෂ් චන්දිමාල් තරග 63 කදී ලකුණු 4213 කි.

සංගක්කාර සහ මහේල දෙදෙනා කණ්ඩායම වෙනුවෙන් කළ සේවය තරම්ම නොවූවත් දිමුත්ට, මැතිව්ස්ට, චන්දිමාල්ට ඇත්තේද එවැනි අභියෝගයකි. ඔවුන් ඒ ඉලක්කවලට යනවා යනු ඉදිරියට එන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයන්ය. ඇඹුල්දෙනිය, ජයවික‍්‍රම සහ මෙන්ඩිස් දඟ පන්දු ත‍්‍රිත්වයද ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප‍්‍රධාන බලාපොරොත්තු වේ. පැතුම් නිශ්ශංක සහ ධනංජය ද ලකුණු අතරට පැමිණීම කැපී පෙනුණි. එහෙත් උඩ පන්දු අත් හැරීමේ වරද නිවැරදි කරගත යුතුය. තවත් උඩ පන්දුවක් අවසන් දිනයේ අත් හැරියේ නම් උඩ පන්දුවට වඩා ලොකු දෙයක් බිමට වැටෙන්නට තිබිණි. ඒ වැසි පතිත වී අතේ තිබුණු ජයග‍්‍රහණය බිමට වැටීමයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment