ගාල්ල අයිස් යන්ත්‍රාගාරය ඇමැති මිතුරාට කුණු කොල්ලයට

238

ගාල්ල ධීවර සංස්ථා අයිස් යන්ත්‍රාගාරය දකුණු පළාත නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයෙකුගේ ගජ මිතුරකුට කුණු කොල්ලයට අලෙවි කිරීමට උත්සාහ දරන බවත් ඊට එරෙහිව ලංකා ධීවර සංස්ථා වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධතාවක් ආරම්භ කරන බවත් ලංකා ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ජේ. එච්. නිශාන්ත මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

සේවකයින්ගේ මාසික වැටුප් නිසි පරිදි නොගෙවීම, ඊ. ටී. එෆ්. සහ ඊ. පී. එෆ්. හිඟ රුපියල් කෝටි 62 ක ගෙවීම් පැහැරහැරීම මගින් සේවක අයිතිවාසිකම් අහිමි කිරීම, විශ්‍රාමික 70 දෙනකුගේ පාරිතෝෂික මුදල් හා අධිභාර ගෙවීම් පැහැර හැරීම, ගාල්ල ප්‍රදේශයේ ධීවරයන්ට උසස් තත්ත්වයේ අයිස් කැටයක් රුපියල් 370 ක් වැනි සහන මිලට ලබා ගැනීමට තිබෙන අවස්ථා අහිමි කිරීම ඇතුළු කප්පාදු රැසක් සිදුවන බවද නිශාන්ත මහතා පැවසීය.

මෙම උත්සාහය හකුළාගන්නා ලෙස බලකරමින් පසුගිය සිකුරාදා (13 දා) දිවා ආහාර වේලාවේ විරෝධතාවක් දැක්වූ බවත් එයින්ද විසඳුමක් නොලැබුනහොත් ධීවර සංස්ථා කොළඹ ප්‍රධාන කාර්යාලය හා ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට කටයුතු කරන බවත් නිශාන්ත මහතා කීය.

මෙම විරෝධතාව සඳහා සමගි සේවක සංගමය, කාර්මික හා සාමාන්‍ය කම්කරු සංගමය, ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය යන සංගම්වල සාමාජිකයෝ එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment