ගාල්ල කඩුලු 6ක් අතැතිව ලකුණු 63ක් ඉදිරියෙන්

100

ජාතික සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමාවන විට දෙවැනියට පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු හයක් අතැතිව යාපනය කණ්ඩායමට වඩා ලකුණු 63 ක් ඉදිරියෙන් සිටියේය.

ගාල්ල කණ්ඩායමේ මොහොමඩ් සිරාස් ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අඩපණ වූ යාපනය ඉනිම යළි ගොඩගැනීමට කිසිදු පිතිකරුවකු අපොහොසත් වීම මත යාපනය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 130කට සීමා වූයේය.

පන්දුවාර 15ක් පමණක් ක්‍රියාත්මක කරමින් ලකුණු 60කට ප්‍රතිවාදී යාපනය කණ්ඩායමේ කඩුලු 5 ක් දවාගත් මොහොමඩ් සිරාස් ට අනෙක් පසින් අනගි සහයක් ලබාදුන් අකිල ධනංජය සහ කෞමාල් නානායක්කාර ද කඩුලු 2 බැගින් දවා ගත්හ.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයකට ආරම්භය ලබාගත් ආරම්භක පිතිකරු සොහාන් ලිවේරා ද සිල්වා දිනය නිමාවන විට සිය ශතකය ද සම්පූර්ණ කර ගනිමින් නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේය.

සොහාන් පන්දු 146 ක් තුළදී ලකුණු 105ක් ලබා ගත් අතර හතරේ පහර 12 ක් අන්තර්ගත විණි.

ගාල්ල කණ්ඩායමට ද ලකුණු ලබා ගැනීම එතරම් පහසු නොවූ අතර සොහාන්ගේ ලකුණු 105ට අමතරව ඔවුන් විසින් රැස් කරගෙන තිබුණේ ලකුණු 88ක් පමණි.

පළමුව පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායමේ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 39ක් ලබා ගත් අතර ඊට පසුව වැඩිම ලකුණු ලබා ගත්තේ අංක 9 පිතිකරු බිනුර ප්‍රනාන්දුය. ඔහු පන්දු 55කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 37ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment