ගාල්ල කොටුවේ ඉන්ධන හලේදී  වෛද්‍යවරුන් දෙදෙනකුට ගුරුවරයකු පහර දීලා

129

ගාලුකොටුවේ ඉන්ධන පිරවුම්හලේදී වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයන් සඳහා ඉන්ධන ලබාදීමේදී ඇතිවූ උණුසුම්කාරී අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් ගුරුවරයකු පෙරේදා (02දා) අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරුවරයෙකි. ඔහු පොලිස් ඇපයක් මත පෙරේදා (02දා) රාත්‍රි මුදාහැරි බව පොලිසිය පවසයි. ගාල්ල කොටුවේ ඉන්ධන පිරවුම්හලෙන් වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී පෝලිමේ සිටි සාමාන්‍ය ජනතාව එයට විරෝධය පළකළ අතර මෙහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එම අවස්ථාවේදී එහි සිටි මෙකී පුද්ගලයා වෛද්‍යවරුන් දෙදෙනාට බෝතලයකින් පහරදී ඇති බව වෛද්‍යවරුන් දෙදෙනා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

මෙකී පහරදීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාව විසින් එක්දිනක වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත වූහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් පෙරේදා (02දා) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී එහි සම ලේකම් වෛද්‍ය ජිනේෂ් යාපා මහතා සඳහන් කළේ මෙකී සිද්ධිය සමබන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කොට ඇති නිසා තමන් සෑහීමකට පත්වන බවය. මේ සඳහා මැදිහත් වූ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්තුතිය පලකරන බවද වෛද්‍ය ජිනේෂ් යාපා මහත සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල,  හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment