ගාල්ල මකුළුවදී කාරයක් දුම්රියේ ගැටී ගැබිනියක් හා දැරියක් ජීවිතක්‍ෂයට –  තවත් 5කට බරපතලයි

340

ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා දැල්වෙමින් තිබියදී කාර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමේ දී මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් කාර් රථයේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් සහ ගැබිනි මවක් මියගොස් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

ගාල්ල මකුළුවදී කාරයක් දුම්රියේ ගැටී ගැබිනියක් හා දැරියක් ජීවිතක්‍ෂයට -  තවත් 5කට බරපතලයි

18දා පෙරවරු 10.20ට පමණ මෙම අනතුර වී ඇත. මියගොස් ඇත්තේ කේ.එල්.එස්. ෂාඩිලා හංසි නමැති ගැබනි මවක් හා එල්. යූ. දිසානායක (07) නමැති දැරියකි. ගැබිනි මව නො. 376 පුබුදුඋයන, කිරිවත්තුඩුව හෝමාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනික් තුවාලකරුවන් මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

කාර් රථයේ පවුල් කිහිපයක ඥාතීන් 07 දෙනෙකු ගමන් කොට ඇත. ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වෙන මංගල උත්සවයකට සහභාගිවීම සඳහා කාර් රථයෙන් ගමන් කරමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කාර් රථය ගාල්ල දෙස සිට මකුළුව දෙසට ගමන් කරමින් සිට ඇත. මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ විදුලි සංඥා දැල්වෙමින් තිබියදී කාර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කොට ඇත. ඒ සමග කාර් රථය දුම්රිය හරස් මාර්ගය මැද නතර වී දුම්රියේ ගැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

තුවාල ලබා ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු එක් කාන්තාවක් හා කුඩා දරුවෙකි. තුවාලකරුවන්ගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය දැරිය තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි. සිද්ධිය ඇසින් දුටුවකු අප සමග මෙසේ කීවේය.

දුම්රිය අනතුරු ඇඟවීමේ සංඥාව නාද වුණා. කාර් රථය හෙමින් ඉදිරියට ආවා. මම කෑගහලා කීවා කෝච්චිය එනවා දාන්න එපා එපා කියලා. කාර් රථයේ වීදුරු වහගෙන ආවේ. දුම්රිය මාර්ගය මැදම කාර් රථය නතර වුණා. දුම්රිය කාර් රථයේ ගැටීමත් සමග කාර් රථයේ සිටි අය උඩින් විසිවෙලා එලියට වැටුණා. පොඩි දරුවන් දෙදෙනෙකු හිටියා. ගැබිනි මවක් හිටියා. ලොරි රථයකින් තුවාලකරුවන් කරාපිටිය රෝහලට රැගෙන ගියා යැයි ඔහු කිවේය.

ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ මෙම අනතුර පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment