ගාලුමුවදොර අරගලය ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම භාවිතයක්

269

සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සභාපති බෙනට් රත්නායක  අරගල බිමේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියයි.

රාජපක්‍ෂවරුන්ගෙන් රට මුදාගෙන නව ව්‍යවස්ථාවක් බිහිකර ගත යුතුයි

චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය


ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්ම භාවිත කළ අවස්ථාව ලෙස ගාලුමුවදොර තරුණ අරගලය හඳුන්වාදිය හැකි බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපති බෙනට් රත්නායක මහතා කීවේය.

ගාලුමුවදොර පිහිටි ජන අරගල භූමියේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් බෙනට් රත්නායක මහතා ඊයේ (27 දා) මෙසේ ද කීවේය.

සාමාන්‍යයෙන් අපි කරන්නේ මැතිවරණයක් ආවාම ඡන්දය දීලා මන්ත්‍රීවරු පත් කරලා ගෙදරට වෙලා ඉන්න එක. ඒ අය අපේ ඡන්දෙන් ගිහිල්ලා වැරදි වැඩ කළත් අපි තනි තනියෙන් බැන බැන ඉන්නවා විතරයි මෙතෙක් කලක් අපි කළේ. හැබැයි අද ඒ තත්ත්වය වෙනස් වෙලා. අපේ අභිලාෂයන්ට පයින් ගහලා තමන්ට හිතුමතේ වැඩ කරන පාලකයන් පන්නා දැමීමට අද අපේ රටේ තරුණ පිරිස පිරිවරා ගත් කණ්ඩායමක් පාරට බැහැලා තිබෙනවා. ඒ අයට අපේ ආචාරය පිරිනමනවා. අපිට මේ ජනාධිපති හෝ අගමැති ගැන මෙන්ම පාර්ලිමේන්තුව පිළිබඳවත් කිසිම විශ්වාසයක් නැහැ. නමුත් අපිට සිදුවී තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා ලවාම මේ ව්‍යවස්ථාව වෙනස් කරවා ගන්නට. ඒ සඳහා අපි මේ අවස්ථාව යොදාගත යුතුයි.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතා අදහස් දක්වමින්.

සමස්තයක් ලෙස මේ වනවිට මුළු රටේම සියලුම කර්මාන්ත කඩා වැටී තිබෙනවා. ඒ අනුව සිනමා කර්මාන්තයත් මුළුමනින්ම කඩා වැටිලා. චිත්‍රපටයක් සෑදීමට තරම් නිරවුල් මනසක් අපේ කලා ශිල්පීන්ට අද රට තුළ නැහැ. එසේ නිර්මාණයක් බිහි කළත් ඒවා මුදල් ගෙවා රසවිඳීමට තරම් ආර්ථිකයක් රටේ ජනතාවට නැහැ.

මේ අරගලය සමග අපි මූලික වශයෙන් දිනාගත යුතු අරමුණු දෙකක් තිබෙනවා. පළමුවැන්න රාජපක්ෂවරුන්ගේ පාලනයෙන් මේ රට මුදා ගැනීම. මේ වනවිට සියලු රාජපක්ෂවරු රට හමුවේ ඔප්පු කර තිබෙනවා ඔවුන් රටක් පාලනය කිරීමට කිසිසේත්ම සුදුසු නැති බව.

දෙවැන්න රට දියුණු කළ හැකි ව්‍යවස්ථාවක් වහාම නිර්මාණය කර ගැනීම. ඒ සඳහා අපිට ලැබෙන අවසන් අවස්ථාව මෙය වීමට බොහෝදුරට ඉඩ තිබෙනවා.

විශාකේෂ චන්ද්‍රසේකරන් මහතා ඇතුළු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි අතර ගාලුමුවදොර පිහිටි අරගල භූමියේ තාවකාලික කූඩාරමක සිට මෙම මාධ්‍ය හමුව පැවැත්වීම විශේෂයක් විය.

කමල් බෝගොඩ හා ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment