ගාලුමුවදොර අරගලය 20 වැනි දිනටත්… වෘත්තීය සමිති නායකයෝත් එක්වෙති

464

අරලියගහ මැඳුර ළඟ අරගල භූමියට නිතරම පිරිත් ඇසෙයි

ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු අර්බුදවලට විසඳුම් ලබා දෙන ලෙස හා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව පවසා කොටුව ගාලුමුවදොර අරගල භූමියේ පවත්වන ජනතා විරෝධතාව ඊයේ (28 වැනිදා) විසිවැනි (20) දිනයටත් ක්‍රියාත්මක විය.

ඊට සහාය පළ කරමින් ඊයේ දිනයේදී රාජ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වීම විශේෂත්වයක් විය.

රටේ පවතින අර්බුදවලට විසඳුම් ඉල්ලා පසුගිය 09 වැනිදා ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ වූ ජනතා විරෝධතාව සඳහා පෙරේදා (27 වැනිදා) දිනයේ ද අති විශාල පිරිසක් එක්ව සිටියහ. එසේම පෙරේදා රාත්‍රි අධික වර්ෂාවක් ඇදහැලුන ද ඔවුන් එම වර්ෂාව නොතකමින් ඊට එක්ව සිටින අයුරු දැකගත හැකි විය.

පෙරේදා රාත්‍රියේ ද අරගල භූමිය විචිත්‍රවත් කරමින් විශේෂාංග රැසක් පැවැත්විණි.

වෙස් මුහුණු පැළඳ නාට්‍ය සංදර්ශන, රූකඩ සංදර්ශන පැවති අතර, තවත් පිරිසක් සංගීත නාද රටා අනුව ගීත ගායනා කරන අයුරු දැක ගත හැකි විය. තවත් පිරිසක් එම ගීත ගායනාවලට සහාය පළ කරමින් ජංගම දුරකථනවල ආලෝක එළිය දල්වා තම දෑත්වලින් ජංගම දුරකථන එහා මෙහා කරමින් ගීත ගායනා කරන අයුරු දැක ගන්නට ලැබිණි.

ඊයේ (28 වැනිදා) පැවති විරෝධතාවට ගුරුවරුන් ද එක්ව සිටියහ.

මේ අතර අරලියගහ මන්දිරය අසල පෙරේදා (27 වැනිදා) නව අරගල භූමියක් ආරම්භ කෙරිණි. පෙරේදා රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වැසි ද නොතකා පිරිසක් එක්ව සිටියහ.

පෙරේදා දහවල් කාලයේ මෙන්ම රාත්‍රි කාලයේ ද එම ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදා පිරිත් දේශනා විකාශය කිරීමට ඉඩ සලස්වා තිබිණි.

මෙය අරගලය කඩාකප්පල් කිරීමේ අරමුණින් කරන්නක් බවට අරගල භූමියේ සිටි විරෝධතාකරුවෝ චෝදනා කළහ.

‘අපිට දිගටම බාධා කිරීම් සිදුවෙනවා. කවදාවත් නැතිව අරලියගහ මන්දිරයෙන් පැය 24 පුරාම පිරිත් දාලා තිබෙනවා. කොයිතරම් බාධා කළත් අපි පටන් ගත්තු නිර්පාක්‍ෂික අරගලය නවත්වන්නේ නැහැ.”

කොටුව ගාලුමුවදොර අරගල භූමියේ පැවැත්වෙන අඛණ්ඩ ජනතා විරෝධය අද (29 වැනිදා) 21 වැනි දිනටත් ක්‍රියාත්මකය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment