ගාලුමුවදොර  වෙරළින් තවත් නාඳුනන  සිරුරක් හමුවෙයි – සතියක් තුළ හමුවූ දෙවැනි මළ සිරුර

730

ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩගසා තිබූ පුද්ගලයකුගේ මළ සිරුරක් කොටුව පොලිසිය මගින් ඊයේ (01 දා) උදෑසන සොයාගෙන ඇත.

ගතවූ සතියක කාලසීමාව තුළදී ගාලුමුවදොර වෙරළ තීරයට ගොඩගැසූ දෙවන මළ සිරුර මෙය බව පොලිසිය පවසයි.

ඊයේ සොයාගත් මළ සිරුර අවුරුදු 40ක පමණ අයකුගේ බව මූලික විමර්ශන වලින් හෙළිවී ඇත.

ගාලුමුවදොර අරගල භූමියට ආසන්න වෙරළ තීරයට මේ ආකාරයට මළ සිරුර ගොඩගැසීම පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ මත පළ කරති.

ඊයේ උදෑසන ගාලු මුවදොරට ගොඩගසා තිබූ මළ සිරුර පිළිබඳව ලැබුණු තොරතුරු මත කොටුව පොලිසියේ නිලධාරීන් විසින් එය පරීක්‍ෂාවට ලක්කර පසුව එම සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත භාරදී තිබේ.

මෙසේ මියගොස් සිටි පුද්ගලයා කාගේ කවුදැයි ඊයේ සවස්වනතුරුම හඳුනාගෙන නොතිබිණි.

මියගිය පුද්ගලයාගේ සිරුරේ තුවාල කිසිවක් නොවූ අතර පොලිසිය සැකකරන්නේ මොහු සියදිවි හානිකරගන්නට ඇති බවය.

ඉකුත් 29 වැනිදා ගාලුමුවදොර වෙරළ තීරයට තරුණයකුගේ මළ සිරුරක් ගොඩගසා තිබූ අතර පසුව එම තරුණයා පන්නිපිටියේ පදිංචිව සිටි අයකු බව හඳුනාගෙන තිබිණි.

18 හැවිරිදි වියේ සිටි එම තරුණයා කිසියම් මානසික ආතතියකින් සිටි අයකු බව විමර්ශන වලින් හෙළි විය. එම තරුණයා ඉකුත් 27 වැනිදා නිවසින් පිටවී ඇති අතර 29 වැනිදා ඔහුගේ සිරුර ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩගසා තිබූ බව පොලිසිය පවසයි.

ඔහුගේ සිරුරේ තුවාල කිසිවක් නොතිබූ අතර ඔහු සියදිවි හානිකර ගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment