ගාලු එන්නත් සිද්ධියේ සීසීටීවී දර්ශන උසාවිය ඉල්ලයි – දක්‍ෂිණ අධිවේගයේ දර්ශනත් සොයයි

182

අහංගම – සුගතපාල දීයගහගේ

උණවටුන පිහිටි ගාල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි පසුගිය ජුනි 05 වැනිදා හා 07 වැනිදා ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා දුන් පුද්ගලයන්ගේ නාමලේඛනයද, උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණු එන්නත් ප‍්‍රමාණය, ඒවායින් බෙදා හරින ලද එන්නත් ප‍්‍රමාණය හා ඉතිරි වූ එන්නත් ප‍්‍රමාණය පිළිබඳ විස්තර ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබාදෙන ලෙස ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (14දා)  දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට හා උණවටුන ඖෂධ ගබඩාවේ පාලකවරයාට නියෝග කළේය.

එසේම එදින එම ස්ථානයේ සී. සී. ටී. වී. දර්ශන සියල්ලද පොලිසිය වෙත ලබා දෙන ලෙස ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග නිකුත් කළේය.

මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ පසුගිය 5 සහ 7 දෙදින කොවිෂීල්ඞ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා ගැනීම සඳහා බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් වාහනවලින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ ඇති බවට ලැබුණ තොරතුරු අනුව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවය.

මේ අතර එම දින දෙක තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් ගාල්ල දෙසට පිටවූ වාහන පිළිබඳ තොරතුරු ඇතුළත් සී. සී. ටී. වී. දර්ශන සියල්ල ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබාදෙන ලෙස ද ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දක්ෂිණ අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයාට ඉකුත් 11වැනිදා නියෝගයක් නිකුත් කළේය.

ගාල්ල ප‍්‍රදේශයේ ජනතාවට ලබා නොදී අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගි වාහනවලින් පැමිණි විශාල පිරිසකට උණවටුන පිහිටි ගාල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී කොවිෂීල්ඞ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබාදුන් බවට ප‍්‍රදේශවාසීන් විසින් චෝදනා කළ බවට මාධ්‍යවල පළ වූ බවත් ඒ අනුව ලැබුණු තොරතුරු මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

එන්නත් ලබා ගැනීම සඳහා එදින අධිවේගී මාර්ගයේ පැමිණි පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මෙසේ සී. සී. ටී. වී. දර්ශන හා එන්නත් කරන ලද අයගේ නාමලේඛනය ලබා ගැනීමටත්, මෙම සිද්ධියේ්දී අතරමැදියකු ලෙස කටයුතු කර ඇති බවට සැක කරන පුද්ගලයකුගේ ප‍්‍රකාශ සටහන් කරගත් බවත්, එනිසා ඔහුගේ දුරකථන වාර්තා ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපතිද සිල්වා මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දිනේශ් නිශාන්ත මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක කේ. ජී. ඞී. සී. ධීරසිංහ මහතා විසින් මෙම නියෝග ලබා ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment