ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් නතර කිරීමට පියවර ගත්තා

220

ඓතිහාසික ලෝක උරුම ගාල්ල කොටු පවුරහි පුරාවිද්‍යා ආරක්ෂිත කලාප තුළ පිහිටි ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ අනවසරයෙන් සිදු කරගෙන යන සංවර්ධන කටයුත්ත වහාම නතර කිරීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳ අවශ්‍ය නීතිමය කටයුතු කරන ලෙසට ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා අධ්‍යක්ෂිකාවට උපදෙස් ලබාදුන් බැව් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ පිහිටි පෞද්ගලික ඉඩමක හෝ මෙවැනි සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන එහි අධීක්ෂණය යටතේ සිදුකළ යුතු බවද හෙතෙම පවසයි. මෙම ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් යුනෙස්කෝව ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මේ වනවිට යළිත් පරීක්ෂණ පවත්වන මෙම අවස්ථාවේදී මෙවන්නක් කිරීම බරපතළ ගැටලුවක් බවද පුරාවිද්‍යා කොමසාරිස්වරයා පවසයි. ගාල්ල දිස්ත්‍රික් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන් මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ, සිද්ධිය දැනගත් වහාම නතර කරන ලෙසට දැන්වුවද ඔවුන් එය නොසලකා කටයුතු කළ බවත් පසුව පුරාවිද්‍යා කොමසාරිස්තුමා ගෙන් ලද උපදෙස් මත පොලිසියද මැදිහත් කොට ගෙන මෙය නතර කළ බවත්ය. මේ පිළිබඳ ගාල්ල නගර සභාවටත්, නාගරික අධිකාරියත්, ගාලු උරුමය පදනමත් අවශ්‍ය කටයුතු කිරීම සඳහා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment