ගාලු කොටුපවුරේ සිට අයර්ලන්තයට මහමෙර සිහි වේ

408

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් කඩුලු 6ක් දැවී ලකුණු 591 ක් ලෙස සිය පළමු ඉනිම අත්හිටුවමින් කළ ආරාධනාව මත පන්දුවට පහර දෙන අයර්ලන්ත ක්‍රීඩකයන්ට ගාලු කොටුපවුර සමීපයේ දී මේ වන විට මහමෙර පිළිබඳ සිහිගැන්වෙමින් ඇත.

දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (17වැනිදා) දිනය නිමා වන විට අයර්ලන්ත ක්‍රීඩකයන් කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් රැස්කරගෙන සිටියේ ශ්‍රී ලංකා ඉනිමට වඩා තවත් ලකුණු 474 ක් මෙපිටින් සිටිමිනි.

ඒ සඳහා ඔවුන්ට තවත් ඉතිරිව තිබුණේ තවත් කඩුලු 3 ක් පමණි.

එහෙත් ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීම ඔවුන් ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගය යි.

ඊයේ දිනයේ දී පන්දුවාර 19 ක් පමණක් ක්‍රියාත්මක කරමින් අයර්ලන්ත පිතිකරුවන්ගේ කොඳු නාරටිය බිඳ දැමූ ජයසූරිය එහිදී ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත්තේය.

ඒ අතර ජයසූරිය අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ජෙම්ස් මැකලම්ගේ ඉනිමද ලකුණු 35 කට සීමා කර තිබුණි.

ජයසූරියට නිවැරදි මඟ පෙන්වූ ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු අයර්ලන්ත ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 04 ක් තුළ බිඳ දමා දුන්නේය.

එතැන් පටන් පිටියේ එකතු වූ අයර්ලන්ත පිතිකරුවන් දෙදෙනා ඔවුන්ගේ ඉනිම ලකුණු 74ක් දක්වා ඉහළට ගෙන ආවද ඉන් පසුව ඔවුන්ට ජයසූරියගෙන් ගැලවීමක් නොවිණි.

පිතිකරුවන් ගේ පාරාදීසයක් බඳු ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දෙවැනි දිනය ද ශතක දෙකකින් අලංකාර කිරීමට දිනේෂ් චන්දිමාල් සහ වසර හතරහමාරකට පසු ටෙස්ට් පිටියට බට සදීර සමරවික්‍රම සමත් වූහ.

ඔවුන් දෙදෙනා ශතක වාර්තා කළ සැණින් තම පළමු ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායකයා සංඥාව ලබාදෙන විට මේ දකුණත් පිතිකරුවන් දෙදෙනා එක්ව හත් වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගන ලද නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 183 ක් වූයේය.

2017 වසරෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් තරඟයක් සඳහා ආරාධනා ලද සදීර රැස් කරන ලද එම ශතකය 2016 වසරෙන් පසුව ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩකයෙකු ටෙස්ට් පිටියේදී වාර්තා කළ පළමු ශතකය බවට ද පත් වූයේය.

සදීරට පෙර කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අවසන් ශතකය වාර්තා කර තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ හිදී කුසල් ජනිත් පෙරේරා විසිනි.

පන්දු 62 කදී තම කුළුඳුල් අර්ධ ශතකය වාර්තා කළ සදීර තවත් පන්දු 50කදී ලකුණු 50 ක් වාර්තා කරමින් තම ටෙස්ට් දිවියේ ප්‍රති ආරම්භය අමරණීය එකක් කර ගැනීමට සමත් වූයේය.

සදීරගේ එම ශතකය සඳහා හතරේ පහර 11ක් අන්තර්ගත වුණු අතර සිය සුපුරුදු තැන්පත් පිතිහරඹ රටාවේ නිරත වුණු දිනේෂ් චන්දිමාල් තමන් මුහුණ දුන් 152 වෙනි පන්දුවේදී ශතකයේ කඩඉමට අවතීර්ණ විය.

එම ශතකය දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා කළ 14 වැනි ටෙස්ට් ශතකය වූ අතර ගාලු ක්‍රීඩාංගණයේ දී ඔහු වාර්තා කළ 05 වැනි ටෙස් ශතකය විය.

පළමු දිනය අවසාන වන විට නොදැවී ලකුණු 18 ක් ලබාගෙන සිටි චන්දිමාල් ඊයේ දිනයේ ද කිසිදු අපහසුවකින් තොරව අයර්ලන්ත පන්දු යවන්නන් හමුවේ පිත්ත හසුරුවමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 600 සීමාවට ගෙන ඒමට ප්‍රබල දායකත්වයක් සැපයුවේ ය.

පෙරේදා දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 386ක්

රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ හයවැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ද ලකුණු 12 කට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 408 ක් ව තිබියදීය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පළමු ඉනිම 591/6

දිමුත් කරුණාරත්න 179, කුසල් මෙන්ඩිස් 140, දිනේෂ් චන්දිමාල් නොදැවී 102, සදීර සමරවික්‍රම නොදැවී 104

පන්දු යැවීම

කරට්ස් කැම්පර් 84/2, මාර්ක් අඩයර් 95/1, ඇන්ඩි්‍ර මැක්බි්‍රන් 162/1, බෙන් වයිට් 119/1, ජොර්ජ් ඩොකරල් 112/1

අයර්ලන්තය 117/7

ජෙම්ස් මැකලම් 35, හැරී ටෙක්ටර් 34, ලෝරන් ටකර් නොදැවී 21

පන්දු යැවීම

ප්‍රභාත් ජයසුරිය 42/5, විශ්ව ප්‍රනාන්දු 22/2

advertistmentadvertistment
advertistmentadvertistment