ගාලු කොටුව ළඟ ඉඳගෙන හඳපානේ බයිලා කියන්න රුවල් නැවෙන් කෝටිපතියෙක් ඇවිත්

964

රුවල් නෞකාව ලබාගෙන ඇත්තේ බියර් පෙට්ටියකට දැමු ඔට්ටුවකින්…
නෞකාවේ වයස වසර 100කට ආසන්නයි රුවල් නෞකාව ගොඩගත් මෙහෙයුම

අනාදිමත් කාලයක සිට ගාල්ල ධීවර වරාය නාවිකයින්ගේ ක්ෂේම භූමියකි. ඈත අතීතයේ සිටම රුවල් නෞකාවලින් නාවිකයින් ගාලු වරායට පැමිණියහ. අදටත් රුවල් නෞකාවලින් ලොව වටා සංචාරය කරනු ලබන නාවිකයින් ගාලු වරායට පැමිණීමට අමතක නොකරති. ලොව වටා සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා රුවල් නෞකාවකින් ගාල්ල වරාය වෙත පැමිණියහ. මෙකී රුවල් නෞකාව ගාල්ල වරායට පැමිණෙන අනිකුත් රුවල් නෞකාවලට වඩා සුවිශේෂී වූ යාත්‍රාවකි. මෙම රුවල් නෞකාව වසර 100කට පමණ අතීතයකට උරුමකම් කියන නෞකාවකි. ඔස්ට්‍රේලියානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයා ලොව වටා සංචාරය කිරීම සඳහා යුකොන් (yukon) නමැති මෙම රුවල් නෞකාව තෝරාගෙන තිබුණි.

මෙම යාත්‍රාවේ වර්තමාන හිමිකරු වන්නේ ඔස්ට්‍රේලියානු ජාතිකයකු වන ඩේවිඩ් නෑෂ්ය. නාවිකයකු වන හේ මෙම යාත්‍රාවේ කපිතාන්වරයා වශයෙන් ද කටයුතු කරයි. යුකොන් රුවල් නෞකාව හා බැඳී ඇත්තේ හරි අපූරු රසවත් කථාන්දරයන් ය. ඩේවිඩ් නෑෂ් මෙකී යාත්‍රාව ලබාගෙන ඇත්තේ බියර් පෙට්ටියකට දැමූ ඔට්ටුවකට බව කිවහොත් ඔබ පුදුමවනු ඇත. නෑෂ් රුවල් නෞකාවලට දැඩි ලෙස ඇලුම් කළේය. ඔහු මාස කිහිපයක් පමණ ඩෙන්මාර්කයේ වේදිකා නාට්‍යකරුවකු ලෙස කටයුතු කරමින් සිටියේය. මේ කාලයේදී හේ දකුණු ඩෙන්මාර්කයේ වෙරළ තීරයන්වල සැරිසරමින් ලීවලින් සාදනු ලැබු විවිධ වර්ගයේ රුවල් නෞකා නරඹමින් සිටියේය. ඩේවිඩ් ඩෙන්මාර්කයේ Rudkoebing හි රුවල් නෞකාවක් නරඹමින් සිටියදී, ඔහුගේ ඔස්ට්‍රේලියානු මිතුරෙකු වූ Ross Grange විසින් ඩේවිඩ්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය.

ඩේවිඩ් කෝපන්හේගන් පුවත්පත බලන්න එහි ඩොලර් 10000කට රුවල් නෞකාවක් විකිණීමට තියෙනවා කියා දැන්වීමක් දමලා තියෙනවා රෝස් කීවේය. ඩේවිඩ්ගේ ඉහේ මල් පිපුනා වැනිය. ඔහු රුවල් නෞකාවේ හිමිකරුට කථා කළේය. රුවල් නෞකාව විකිණීමට එහි හිමිකරු ද කැමැත්ත පළකරනු ලැබීය. දින දෙකකට පමණ පසු රුවල් නෞකාවේ හිමිකරු යළිත් වතාවක් ඩේවිඩ්ට කථා කළේය. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයට දකුණින් ඇති ඩ්‍රැගර් වරායේ නෞකාව ගිලී ගිහින් තියෙනවා. එය ගොඩට අරන් දෙන්නම් රුවල් නෞකාවේ හිමිකරු කීවේය. ඩේවිඩ් මෙකී රුවල් නෞකාව බැලීම සඳහා ඩ්‍රැගර් වරාය වෙත ගියේය. මෙකී රුවල් නෞකාව ගොඩට ගැනීම සඳහා යාත්‍රාවේ හිමිකරු ඇතුළු කණ්ඩායම කොතෙක් උත්සාහ කළද එය සාර්ථක නොවීය.

ගාලු කොටුව ළඟ ඉඳගෙන හඳපානේ බයිලා කියන්න රුවල් නැවෙන් කෝටිපතියෙක් ඇවිත්

හරි මම රුවල් නෞකාව ගොඩට ගන්නම් කියූ ඩේවිඩ් යාත්‍රාවේ හිමිකරු සමග බියර් පෙට්ටියක් ඔට්ටු ඇල්ලුවේය. ඩේවිඩ් තම මිතුරා වන රෝස් සමග එක්වි මුහුද යට ගිලී තිබූ රුවල් නෞකාව ගොඩට ගැනීම සඳහා සැලසුම් කළේය. රෝස් කාර්මික දැනුම ඇති දක්ෂ කිමිදුම්කරුවෙකි. මේ සඳහා විශාල ප්‍රමාණයේ පාවෙන දොඹකරයක් මෙන්ම කිමිදුම්කරුවන් විශාල පිරිසක් යොදා ගනු ලැබීය.

රොස්ගේ පැය ගණනාවක් මුහුදයට කිමිදීමෙන් පසු යාත්‍රාවේ සැක සහිත කාන්දුවීම් සකස් කිරීමට කටයුතු කළේය. තුන්වන සති අන්තය වන විට, රුවල් නෞකාව ගොඩගැනීමේ මෙහෙයුම සාර්ථකත්වයට පත්ව තිබුණි. මෙකී මෙහෙයුම සඳහා ප්‍රාදේශීය ගිනි නිවන හමුදාව ඇතුළු ස්වෙච්ඡා සේවකයින් පිරිසක්ද ඩේවිඩ්ලාගේ සහායට පැමිණි සිටියහ. අවසාන උත්සාහය ලෙස, ජීවිතාරක්ෂක පාරු දෙකම රුවල් නෞකාවේ රඳවනය තුළට දමා ඒවා පුම්බා ගැනීමට කටයුතු කරනු ලැබීය. ඒ සමග රුවල් නෞකාව පාවෙන්නට විය. මින් සියල්ලෝම ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටියහ. සති තුනක මෙහෙයුමකින් පසු රුවල් නෞකාව ගොඩට ගැනීමට ඩේවිඩ් ඇතුළු පිරිවරට හැකි වූහ. ඒ 1997 ජුනි 19 වැනිදාය.

“ඇත්තටම එදා හරිම සුන්දර දවසක් අපි ගොඩක් මහන්සි වෙලා යුකොන් රුවල් නෞකාව ගොඩට ගත්තා. මේ නෞකාව නැවත වතුරට ගෙන ඒමට බොහෝ වැඩකළ යුතුව තිබුණා. අනෙක් අතට, බියර් පෙට්ටියකට පමණක් මෙවැනි යාත්‍රාවක් ලබා ගැනීමට මට තවත් අවස්ථාවක් ලැබෙන්නේ කවදාද? දින තුන හතරකට පසු අපි මෙම රුවල් නෞකාව නැවත නැව්ගත කළා… යාත්‍රාව තබා ගැනීමට අපට අවසර දී ඇති එකම ස්ථානය කෝපන්හේගන් හි හදවත වන නයිහාන් හි බව දැනගත් විට අපි පුදුමයට පත් වුණා. ඒ සඳහා වසරකට ඩොලර් 200ක් ගෙවිය යුතුයි. ඩෙන්මාර්කයේ ලී නැව් ලෝලීන්ගේ සංවිධාන මගින් මේ සඳහා උදව් කළා. 97 වර්ෂයේ සිට 2004 දක්වා කාලය තුළ මෙම නෞකාව නවීන තාක්ෂණික මෙවලම් යොදලා නැවත ප්‍රතිනිර්මාණය කළා. මේ සඳහා ඔස්ට්‍රේලියාවේ මා සතුව තිබූ නිවසක්ද විකුණා දමා එම මුදල් ද නෞකාවේ අලුත්වැඩියා කටයුතු සඳහා යෙදවූවා.

වරක් මම නෞකාවේ තට්ටුවේ වැඩ කරමින් සිටියදී කුඩා පිරිමි ළමයෙක් පැමිණ මගෙන් ඇසුවා මෙවැනි යාත්‍රාවක් මිලදි ගැනීමට කොපමණ මුදලක් වැය වේද කියා. මම ආඩම්බරයෙන් පිළිතුරු දුන්නා මේ සඳහා මට වැයවුණේ බියර් පෙට්ටියක් පමණක් කියා. ඔහු වරායේ ඇති සියලුම ලස්සන නැව් දෙස බලා, යූකෝන් දෙස ආපසු හැරී, “මම හිතන්නේ ඔබ ඕනෑවට වඩා ගෙව්වා!” යැයි මා සමග කීවා. 2010 වර්ෂයේ දී මෙම රුවල් නෞකාවෙන් ලෝකය වටා සංචාරය කළා. ඒ සඳහා මගේ බිරිඳ හා පුතුන් දෙදෙනා එක්වුණා. මෙම රුවල් නෞකාව වසරකට මාස 06ක් කුලියට දෙනවා. දිනකට ඩොලර් 2000ක් අයකරනවා. ඒක තමයි අපේ ආදායම් මාර්ගය. මේ වනවිට මෙම යාත්‍රාව නාවික සැතපුම් 50,000ක් පමණ යාත්‍රා කරලා තියෙනවා. අපේ මුඵ සේසතම විකුණලා තමයි බෝට්ටුව අලුත්වැඩියා කළේ. දැන් අපේ ජීවිතය තමය මේ රුවල් නෞකාව. ඇත්තටම ගාලු වරාය සුන්දර වරායක් මෙහි සෞන්දර්යාත්මක අංග ගොඩක් තියෙනවා. මෙහි ගල්පර්වත බහුල ස්වාභාවික පිහිටීම හරිම සිත්ගන්නාසුලුයි. ඩේවිඩ් නෑෂ් කීවේය.

ගාලු කොටුව ළඟ ඉඳගෙන හඳපානේ බයිලා කියන්න රුවල් නැවෙන් කෝටිපතියෙක් ඇවිත්

මෙකී රුවල් නෞකාව සඳහා මුලදි Elly ලෙස නම් පටබැඳී තිබුණි. මෙය 1930 වසරේදි ඩෙන්මාර්ක් රටේ දි නිපදවා තිබූ අතර, මෙය මුල්කාලයේ දී ධීවර යාත්‍රාවක් වශයෙන් නිර්මාණය කොට තිබුණි. ඩෙන්මාර්කයේ ජුට්ලන්ඩ් ඔබ්බෙන් වූ උතුරු මුහුදේ ධීවර කටයුතු සඳහා මෙකී යාත්‍රාව යොදාගනු ලැබීය. එකල මේ සඳහා හෝස්පවර් 67 ක කුඩා එන්ජිමක් භාවිතා කොට තිබුණි. මෙකී යාත්‍රාව එන්ජිමක් සහිතව නිපදවන ලද ඩෙන්මාර්ක ධීවර යාත්‍රාවල පළමු පරම්පරාවේ රුවල් නෞකාවකි. මසුන් ඇල්ලීමේ තාක්ෂණයේ වෙනසක් ඇතිවීමත් සමග, ඒවායේ කාර්යක්ෂමතාව අනුව ධීවර කාර්මිකයින් මෙම යාත්‍රාව හජ්කුටර් හෝ මෝරු කටර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය. මෙම රුවල් නෞකාව දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ජර්මානු හමුදාව විසින් අත්පත්කරගෙන තිබූ අතර සොල්දාදුවන්, වෙඩි බෙහෙත් ඇතුළු ආයුධ ප්‍රවාහනය කිරීම සඳහා මෙම යාත්‍රාව යොදාගෙන තිබුණි. 1951 වර්ෂයේ දී ධීවර කාර්මිකයකු විසින් මෙකී යාත්‍රාව මිලදී ගෙන තිබුණි. ඇලස්කාවේ යුකොන් ගං ඉවුරේ රන් නිධිවලින් ලබාගත් මුදල් යොදවා ධීවර කාර්මිකයා විසින් යාත්‍රාව මිලදී ගෙන තිබුණි. ඉන්පසු මෙම යාත්‍රාව සඳහා යුකොන් ගංගාවේ නම යොදාගෙන තිබුණි. ඉන්පසු මෙකී යාත්‍රාව සඳහා හෝස්පවර් 167ක එන්ජිමක් භාවිතා කරනු ලැබීය. ඉන්පසු 1974 දක්වා වාණිජ්‍යමය වශයෙන් මසුන් ඇල්ලීමේ කටයුතු සඳහා මෙම යාත්‍රාව භාවිතා කරනු ලැබීය.

මෙකී යාත්‍රාවේ තට්ටුවේ දිග මීටර් 65කි. පළල මීටර් 14 කි. ඩේවිඩ් වැනි රුවල් නැව්කරුවකුට ලොව වටා යාත්‍රා කිරීමට මෙය කදිම නෞකාවකි. මෙම නෞකාව ඩේවඩ් නෑෂ් අතට පත්වනවිට යාත්‍රාව සඳහා විවිධ හිමිකරුවන් සිටියහ. ඒ වනවිට ධීවර යාත්‍රාවක් බවට පත්ව තිබූ මෙම යාත්‍රාව විනෝද යාත්‍රාවක් බවට පරිවර්තනය වී තිබුණි. මෙකී යාත්‍රාවේ භාරකරුවන්ට මෙම රුවල් නෞකාව සහ ඇත්තේ දැඩිබැඳීමකි. ඔස්ට්‍රේලියානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයා ලොව වටා සංචාරය කිරීම සඳහා මෙකී යාත්‍රාව යොදාගෙන ඇත්තේ මෙම යාත්‍රාවේ ඇති පෞරාණික වටිනාකම නිසාය. කෝටිපති ව්‍යාපාරිකයා සමග ඩෙවිඩ් නෑෂ්ගේ පුතුන් දෙදෙනාද මෙකී සංචාරයට එක්ව සිටියහ. යුකොන් රුවල් නෞකාවෙන් ගාලු වරායට පැමිණි මෙම පිරිස දින ගණනාවක් මෙරට රැඳී සිටියහ. මෙම පිරිස ගාල්ල නගරයේ වැදගත් ස්ථාන ගවේෂණය කරමින් උඩවලව ආදි ප්‍රදේශවල සංචාරය කිරීමට ද කටයුතු කළේය. යුකොන් රුවල් නෞකාව සඳහා මෙරට දී අවශ්‍ය සේවා පහසුකම් සැපයීමට ඩේවිඩ් නෑෂ් තෝරාගෙන තිබුණේ ටැංගෝ නාවික සමාගමයි. :ඕබටද ීයසචචසබට ්ටැබජහ ඡඩඑග ඛඑා) එම සමාගමේ හිමිකරු වන්නේ චතුර කුඩච්චි මහතා ය. ගාලු වරයා රුවල් නෞකා යාත්‍රා අංගනයක් ලෙස සංවර්ධනය කරන බවට දේශපාලනඥයින් විසින් දහසකුත් වූ පොරොන්දු ලබා දී ඇතත් ඒවා පොරොන්දුවලට පමණක් සීමා වී ඇත. ගාලු වරාය සඳහා වැඩි වශයෙන් රුවල් යාත්‍රිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි. මෙය අපේ රටේ සංචාරක කර්මාන්තයට ද දැඩි පිටිවහලක් වනු ඇත. මහ සයුර පිළිබඳ හසල දැනුමක් ඇති චතුර කුඩච්චි වැනි ව්‍යවසායකයින්ගේ තාක්ෂණික දැනුම මේ සඳහා යොදාගැනීම බලධාරීන්ගේ වගකීමකි. එසේ වුවහොත් මෙවැනි කෝටිපති ව්‍යාපාරිකයින් ඇතුළු විදේශිකයින් මෙරටට ගෙන්වා ගැනීමට එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment