ගාලු, මාතර, හම්බන්තොට තෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පල්ලාවෙල සුමේධවංශ නාහිමි

84

පල්ලාවෙල සුමේධවංස නායක මාහිමියන් ජන්ම ලාභය ලැබුවේ මාතර පුරවරයේ හක්මණ දකුණ පල්ලාවෙල ගම් පියසේය. වර්ෂ 1956 නොවැම්බර් මස 15 වන දින අයි. සයින්දරා මෑණියන්ට හා කේ. ඒ. හර්මානිස් පියාණන්ට දාව මෙලොව උපත ලදහ. දූ දරුවන් හත් දෙනකුගෙන් යුත් පවුලක් විය. මෙම දරුවාගේ ගිහි කල නම වූයේ කේ. ඒ. සුමනසේන. හක්මණ, දකුණු පල්ලාවෙල පිටවල්ගමුව කනිටු විදුහලෙන් මෙන්ම දෙනගම මහා විද්‍යාලයෙන් ගිහි කල අධ්‍යාපනය ලබා ඇත.

එකල මේ ගම් පියසේ පුංචි ආවාසායක වැඩ සිටි හක්මණ පල්ලාවෙල දකුණ පිටවල්ගමුව ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති, ගෞරවාර්හ දේවාලේගම සිරි සුවණ්ණ ජෝති නාහිමිපාණන් වහන්සේ ඇසුරු නිසාත් පූර්වක් කෘත පිං මහිමයත් නිසා 1976 පොසොන් මස 10 වන පොහොය දින හක්මණ දකුණ පල්ලාවෙල නිග්‍රෝධාරාමයේදී ප්‍රවෘජ්ජාව භූමියට පත්විය. ආචාර්වරයාණන් වහන්සේ වූයේ ගෞරවනීය දේවාලේගම සිරි සුවණ්ණජෝති නාහිමිපාණන් වහන්සේය. එම විහාරස්ථානයේ කලක් වැඩ වසමින් ගුරු ඇසුරෙන් වත් පිළිවෙත්වලට හා පිරිවෙන් අධ්‍යාපනය සඳහා යොමු විය. හක්මණ, පොත්තේවෙල ශ්‍රී ජිනරාජ පිරිවෙනට ඇතුළත් විය. ඉන්පසු ගාල්ල පුන්‍යසාර මහා පිරිවනට ඇතුළුව මූලික හා ද්විතීක අධ්‍යාපනය ලබා, විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත්හ.වර්ෂ 1984 දී පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. සාමණේර ජීවිතයක් ගත කළ උන්වහන්සේ පැවිදි දිවි මඟ සරු කරන්නට අවැසි බණ දහමින් පෝෂණය ලැබ වර්ෂ 1992/07/05 වන දින අතිපූජ්‍ය බෝඹුවල නන්දසාර අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කළුතර කාලනදී උදකුක්ඛේප සීමා මාලකයේ දී උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටුවූහ. ගාල්ල ඇත්තිලිගොඩ ජිනේන්ද්‍රාරාමාධිපති, අමරපුර සිරි සද්ධම්මවංශ ධීරානන්ද සංඝසභාවේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක විජය ශ්‍රී ධර්මාභිලාෂි සිරි ජිනානන්ද වංතාවතංස ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හීනටිගල පියනන්ද නා හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම තුළින් ගාල්ල ජම්බුකැටිය ශ්‍රී සුගතාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ අභිධර්ම විශාරද පූජ්‍යපාද දංගෙදර සුගතසීල නා හිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි උපසම්පදාව ලදහ.

නායක මාහිමිපාණන් වහන්සේ වර්ෂ 1990 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා ගත්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබඳ බාහිර උපදේශක හා බාහිර කථිකාචාර්ය වරයෙක් ලෙස ද කටයුතු කර ඇත. පුරාවිද්‍යාව පිළිබඳ අභයගිරි ව්‍යාපෘතියේ හිටපු අධික්ෂණ නිලධාරියෙක් ලෙස කටයුතු කළහ. එමෙන්ම රජයේ පාසල් සේවයට එක්ව ආචාර්යවරයෙකු ලෙස පාසල් ගණනාවකම වසර 25 අධික කාලයක් කටයුතු කළහ. ගුවන් විදුලි රූපවාහිනි ධර්ම දේශකයෙකි. ගාල්ල, දංගෙදර, ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ මුල මහා විහාරස්ථානය, ගාල්ල, හාලිවල, ජම්බුකැටිය සිරි සුගතාරාමය, ගාල්ල, සමඟිවත්ත අභිනවාරාම තුන්බෝධි විපස්සනා භාවනා මධ්‍යස්ථානය, හක්මන, පල්ලාවෙල, දකුණ, පිටවල්ගමුව ශ්‍රී නිග්‍රෝධාරාමය, සිව් මහා විහාරස්ථානයන්ට නායකත්වය දෙමින් ශාසනික උන්නතිය වෙනුවෙන් කරන ලද මෙහෙවර අතිවිශාලය. තම ශිෂ්‍යයන් වහන්සේට එම විහාරස්ථානයන්හි වගකීම පවරා ඇත. ශිෂ්‍ය පිරිස අතර කථිකාචාර්ය, නියෝජ්‍ය විදුහල්පති, පරිවෙණාචාර්ය තනතුරුවල කටයුතු කරන 18 නමකින් යුක්ත ශිෂ්‍ය පිරිසක් වැඩ සිටිති.

වර්ෂ 1900 අප්‍රේල් මස 29 වන දින බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාමයේදී ප්‍රථම මහානායක පදවිය දංගෙදර ජයවර්ධනාරාමාධිපති අතිගෞරවනීය දංගෙදර සුමණජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලබා දුන්හ. මහා මහෝපාධ්‍යාය පදවිය බෝධිසත්ව ගුණෝපේත බෝඹුවල දස්සනසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනැමූහ. මෙම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වය දිවයින පුරා ව්‍යාප්ත වීමෙන් පළාත් සංඝ සභා නවයක් දක්වා වර්ධනය වීමෙන් 2000 කට ආසන්න භික්ෂු පිරිසක් දිවයින පුරා වැඩ වෙසෙමින් මහත් ලෝක ශාසනික මෙහෙවරක් ඉටුකරනු ලබති. අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ආදිකර්තෘන් වහන්සේ මෙන්ම සම්මානනීය නායක මාහිමිපාණන් වහන්සේ කිහිප නමක්ම වැඩ සිටිය නිකායේ මූලස්ථානයක් ලෙස දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම මූල මහා විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙන්ම උන්වන්සේ සිදුකළ ශාසනික සාමාජීය අධ්‍යාපනික මෙහෙවරට උපහාරයක් වශයෙන් මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ මහානායක නාහිමිපාණන් වහන්සේ, අනුනායක නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රී සුමනජෝති කාරක මහා සංඝ සභාව විසින් 2023 මාර්තු මස 4 ශනි දින රාගම වල්පොල විමලරත්නරාම පිරිවෙන් මහා විහාරස්ථ සීමා මාලකයේදී “සිරි සුමනජෝත්‍යාභිධාන සුගතශීල වංශාවතංස සුවණ්ණජෝත්‍යාලංකාර ශාසන කීර්ති ශ්‍රී සද්ධම්මවාගීශ්වර” යන ගෞරව සම්මුති නාමය සහිතව ගාලු, මාතර හම්බන්තොට තෙදිසාවේ අධිකරණ සංඝනායක පදවිය පිරිනමන්නට යෙදුනාහ.

මෙම පදවි ප්‍රාප්තිය වෙනුවෙන් විහාරස්ථාන ගණනාවේම පිළිගැනීමේ පෙරහැර සංවිධානය විය. නායක මාහිමිපාණන් වහන්සේ වැඩ සිටින දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම පූරාණ මූල මහා විහාරස්ථානයේ ප්‍රධාන අභිනන්දන උත්සවය 2023/පොසොන් මස /10 වන ශනි දින සවස 3.00 ට පැවැත්වීමට නියමිත බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටිමි.

ශිෂ්‍යවර: දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ මූල මහා විහාරාධිකාරි,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක
පූජ්‍ය මුතුකණ්ඩියේ සුනෙත්ත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment