ගාලු මුවදොර අරගලය අඛණ්ඩව 16 වැනි දිනටත්

222

රටේ පවතින ඉන්ධන, ගෑස් ගැටලුව, විදුලි කප්පාදුව ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා සහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව කියමින් කොටුව ගාලුමුවදොර පිටියේ අඛණ්ඩව ක්‍රියාත්මක ජන අරගලය ඊයේ (24 වැනිදා) 16 වැනි දිනටත් අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේ රැඳී සිටින විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ කියමින් ජාතික කොඩි ලෙළදෙවමින් සිය විරෝධය පළ කරන්නට වූහ.

පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ ද අරගල භූමියට විශාල පිරිසක් එක්ව සිටි අතර, වීදි නාට්‍ය, විවිධ ගීත ගායනා කරමින් පිරිස පිනවනු ලැබූහ. ඒ සඳහා නාට්‍ය ශිල්පීහු සහ ගායක ගායිකාවන් රැසක් එක්ව සිටියහ.

අරගල භූමියේ විවිධ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙක් අල්ලා පොලිසියට භාරදීමට ද මෙහිදී විරෝධතාකරුවෝ කටයුතු කළහ.

මෙම විරෝධතාවට සමගාමීව තෙරිපැහැ සිරිධම්ම හිමියන් (රතුපස්වල හාමුදුරුවෝ) ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊයේ ද ක්‍රියාත්මක විය.

මේ අතර ගාලු මුවදොරට පිවිසෙන මාර්ග රැසක් වසා දැමීම හේතුවෙන් අරගල භූමියට පැමිණි පුද්ගලයන් හා දෛනික කටයුතු සඳහා වාහනවලින්, පාපැදිවලින්, යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්වූහ.

පසුගිය 09 වැනිදා ආරම්භ වූ අඛණ්ඩ ජන අරගලය අද (25 වැනිදා) 17 වැනි දිනයටත් ක්‍රියාත්මකය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment