ගාලු මුවදොර විරෝධතාව ඊයේ 9 වැනි දිනයටත්

158

විරෝධතා භූමියේදී හිසතෙල් ගෑමේ මංගල්‍යයත් සිදු කෙරේ

කොටුව ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ජන අරගලය ඊයේ (17 වැනිදා) 9 වැනි දිනයටත් ක්‍රියාත්මක විය.

කිසිදු පසුබැසීමක් හෝ විඩාවක් නොපෙන්වමින් තරුණ තරුණියන්, කලාකරුවන්, ක්‍රීඩකයන්, විවිධ වෘත්තිකයන් අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අරගල භූමිය තුළ කිසිදු ගැටුමක්, වාදභේදයක් නොමැතිවීම විශේෂත්වයක් විය.

පෙරේදා (16 වැනිදා) සවස් කාලයේ ගාලු මුවදොරට රැස්වී සිටි සියලු දෙනා එක්ව එක් හඬින් ජාතික ගීතය ගායනා කළහ.

එසේම පෙර්දා රාත්‍රියේදී දහඅට සන්නිය නටමින් තොවිලයක් ද පැවැත්වූහ.

රට මුහුණ පා ඇති විපත්වලින් මාතෘ භූමිය බේරාගෙන මව්බිමට දෙවියන්ගේ ආරක්‍ෂාව ලබාදෙන ලෙසත් දූෂිත පාලනය මෙරටින් අතුගා දමන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලමින් එම තොවිලය පැවැත්විණි.

ඉකුත් 9 දා ආරම්භ වූ මෙම විරෝධතාවට අතිවිශාල ජනකායක් ජාතික ධජ අතැතිව සහභාගි වී සිටියහ.

පෙරේදා රාත්‍රි විරෝධතා භූමියට කලාකරුවෝ පිරිසක් ද එක්ව සිටි අතර ඔවුහු ගීත ගායනා කරමින් විරෝධතාවට සහාය පළ කළහ.

මේ අතර ඊයේ අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ නැකතට හිසතෙල් ගෑම මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් විරෝධතා භූමියේදී සිදු කෙරිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment