ගාස්තු ගෙවා පහසුකම් ගැනීමේ අයිතිය අපරාධ සිරකරුවාට අහිමි කළා – විජයදාස රාජපක්‍ෂ

539

විවාදය ආරම්භ කරමින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා – අද දිනයේ අපි පනත් හතක් සහ රෙගුලාසි කිහිපයක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තු සම්මතය සඳහා. (නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

විජයදාස රාජපක්ෂ මහතා –

අපේ රටේ තිබෙන සමහර යල් පැනගිය නීති වෙනස් කර මේ රටේ යම් සිස්ටම් චේන්ජ් එකක් කළ යුතුයි කියන අවස්ථාවේදියි අපි මේ නව පනත් නීති රෙගුලාසි වෙනස් කරන්නේ. හිටපු අධිකරණ ඇමැතිවරයා විශාල පෙරළියක් කරලා ගැඹුරු අධ්‍යයනයක නිරත වී මේවා සකස් කර තිබෙනවා. ඒ යටතේ විෂ වර්ග සහ අබිං පනත සම්බන්ධයෙන් අපි නව නීති හඳුන්වා දෙනවා. දැන් තිබෙන අයිස් කියන මත්ද්‍රව්‍ය ඉතා භයානක මත්ද්‍රව්‍යයක්. මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවෙන අයකුගේ ජීවිතය අවුරුදු දෙකකට සීමාවන බව අද වනවිට තහවුරු වෙලා තිබෙනවා. මේ විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තත් ඒවා නැවත සමාජයට මුදාහරින තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. ඒ මේවා නඩු භාණ්ඩ වශයෙන් තැන්පත් කරගෙන සිටින නිසයි. ඒ නිසා අපි මේවායින් යම්කිසි ප්‍රමාණයක් සහ ඒවායේ ඡායාරූප ලබාගෙන එම තොග විනාශ කිරීමට කටයුතු කරගෙන යනවා.

ඒවාගේම හෙරොයින්, කොකේන් ඇතුළු අනෙක් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටියහොත් මරණ දණ්ඩනයට පමුණුවනවා. නමුත් අධිකරණ පද්ධතියේ පවතින තදබදය හේතුවෙන් මෙය ග්‍රෑම් 05 දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ වාගේම විෂ මත්ද්‍රව්‍ය ලෙස ඖෂධ විකුණන සමහර ෆාමසි විසින් විකිණීමට ක්‍රියා කරනවා. ඇතැම් විට ඊසි කෑෂ් ක්‍රමයට මේ මත්ද්‍රව්‍ය විකිණෙනවා. මේ මත්ද්‍රව්‍ය කල්ලි එක්ක ගනුදෙනු කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මේවා අත්අඩංගුවට ගන්න පොලිසියට විශාල මහන්සියක් ගන්න වෙනවා. ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න තමන්ගේ ජීවිතය පවා උකස් තියන්න වෙනවා. නමුත් අධිකරණවලදී ඒ අය ඉතා අපහසුතාවට පත් වෙනවා. සමහර විනිසුරුවන් කුඩු සම්බන්ධයෙන් විවිධ මත දරනවා. උතුරු පළාතේ පොලිස් නිලධාරීන් කුඩු අල්ලලා අධිකරණයට ගෙනියන්නත් බයයි. ඒ නිසා අපට මේ ප්‍රශ්නය ගැන අලුතින් හිතන්න වෙනවා. ඇතැම් විට කුඩු ගැන පොලිසියට තොරතුරු දෙන්න බයයි. මොකද පොලිසියෙන් ඒ තොරතුරු පිටයයි කියලා. අපේ රට ඉතා භයානක තත්ත්වයකයි තිබෙන්නේ. අපි විවිධ කාරණාවල එල්ලිලා කටයුතු කරනකොට මේ මත්ද්‍රව්‍ය කියන ප්‍රශ්නය මුළු රටම වෙලා ගනිමින් සිටිනවා. හයිටි රාජ්‍යය නොමිලේ බියර්, විස්කි බෙදලා මත්ද්‍රව්‍යවලට පුරුදු කළා. පසුව ඒවා වැඩිදුර ගොස් දැන් ඒ රටේ අයකුගේ ජීවිත කාලය අවුරුදු 30ට අඩු වෙලා. දැන් අපේ රටේත් මේ අයිස් වගේ මත්ද්‍රව්‍ය නොමිලේ ලබාදෙන සිද්ධි වාර්තා වෙලා තිබෙනවා. අපි මේ තත්ත්වය පාලනය කළ යුතු වෙනවා.

රවුෆ් හකීම් මහතා – අපි දැක්කා රැඳවියන්ට සල්ලි දීලා වෙනම කුටියක් ගන්න පුළුවන් කියලා.

විජයදාස රාජපක්ෂ මහතා –

අපේ නීතිය අනුව සිවිල් සිරකරුවන්ට සහ අපරාධ සිරකරුවන්ට ගාස්තුවක් ගෙවලා සෙල් එකක් වෙන්කර ගන්න පුළුවන්. අවශ්‍ය භාණ්ඩ, සල්ලි දීලා ගන්න පුළුවන්. ඒක සිවිල් සිරකරුවාට පමණක් සීමා කරලා අපි අර අපරාධ සිරකරුවාට ඒ අයිතිය අහිමි කළා. දැන් තිබෙන නීතිය අනුව යම් සිරකරුවකු කිව්වොත් මට සල්ලි තියෙනවා. මට වෙනම කුටියක් දෙන්න කිව්වොත් දෙන්න වෙනවා. ඒක වළක්වන්නයි අපි මේ සංශෝධනය ගෙනාවේ. සිවිල් සිරකරුවන් කියන්නේ අපරාධකරුවන් නොවෙයි. සල්ලි තිබෙන අපරාධකරුවන් ඉල්ලුවොත් දැන් අපට දෙන්න වෙනවා. ඒක නිසා අපි ඒ නීතිය නිසි පරිදි සැකසුවා. ඒත් අද වෙනකොට එහෙම එක්කෙනෙක්වත් නෑ. අපි අසමානතාවක් තමයි ඉවත් කළේ. ඒ වගේම සිරකරුවන් බැලීමට එක් අවස්ථාවකදී තුන් දෙනෙකුට අවස්ථාව සලසා තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය අයහපත්. පිළිකා වැනි රෝග ඇති සිරකරුවන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය ඇතිව සමාව දීලා නිදහස් කරලා යවන්න පියවර ගන්නවා.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment