ගාස්තු නැංවීම පරාජය කිරීමට සෑම පියවරක්ම ගන්නවා – රංජන් ජයලාල්

132

මේ මොහොතේ ජනතාව තවදුරටත් අසරණ කරමින් රජය තවදුරටත් විදුලි ගාස්තු වැඩි කිරීමට තීරණය කළහොත් සමස්ත ජනතාව සමග එකතු වී එය පරාජයට පත් කිරීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ‘දිවයින’ට පැවසීය.

කිසිසේත්ම නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි නොකළ යුතු බවත් අනීතික ලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමට ක්‍රියා කළහොත් බිල් නොගෙවන පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි කිරීම්වලට තම වෘත්තීය සමිතිවල සාමාජිකයින් නොයෑමට තීරණය කරන බවත් ඒ මහතා කීය.

ඉකුත් අගෝස්තු මාසයේදී 75%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය නිසා මේ වනවිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, හෝටල්කරුවන් පමණක් නොව සමස්ත ජනතාවම දැඩි ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණදී සිටින බවද ජයලාල් මහතා පැවසීය. විදුලි ගාස්තු නැවත වතාවක් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ පවා විරෝධය පළවී තිබෙන බවත් ජනාධිපතිවරයා සහ විදුලිබල ඇමැතිවරයා ජනතා ප්‍රශ්න පිළිබඳව කිසිදු තැකීමක් නොකර කටයුතු කරන බවත් ඒ මහතා කීය.

ජනතාව තවදුරටත් අපහසුතාවට පත් කරමින් වැඩ වර්ජන කිරීමට සූදානමක් නොමැති නමුත් සමස්ත ජනතාව සමග එකතු වී බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සියල්ල ඒකරාශි කොට විදුලි ගාස්තු ඉහළ දැමීම පරාජයට පත්කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද රංජන් ජයලාල් මහතා අවධාරණය කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment