ගැබ්ගැනීම නැවතුනොත් වාර්ෂික උපත් 330000 ක් අහිමි වෙයිද…

432

කොවිඞ් නව ප‍්‍රභේද මතුවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඉදිරි වසරක කාලය තුළවත් ගැබ් ගැනීමෙන් වැළකී සිටින ලෙසට විශේෂඥ වෛද්‍යවරයකු කරන ලද පෞද්ගලික මතය පිළිපදිනු ලැබුවහොත් ලබන වසරේ නව දරු උපත් තුන්ලක්ෂ තිස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් අහිමි වීමේ ප‍්‍රවණතාවක් ඇතිවනු ඇත. මේ වනවිට කොවිඞ් වසංගතය නිසා දෛනිකව රටේ සිදුවන මරණ සංඛ්‍යාවත් ඉතා ඉහළ අගයක තිබෙන අතර වසර අවසානයේදී දළ වශයෙන් මෙරට සිදුවන මරණ අනුපාතය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව 2019 වසරේදී වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 319,010 ක් වූ අතර එම වසරේ මරණ සංඛ්‍යාව 146,056 ක් ලෙස සටහන් වී තිබේ.

එම වාර්තාවලට අනුව 2018 වසරේ දරු උපත් 328,112 ක් ලෙස සටහන් වූ අතර 2017 වසරේ උපත් ප‍්‍රමාණය 326,052 ක් ලෙස සටහන් වී ඇත. 2016 දරු උපත් 331,073 ලෙස දැක්වේ.

වාර්ෂිකව සිදුවන මරණ සැලකිල්ලට ගැනීමේදී 2018 වසරේ 139,498 ක්ද 2017 දී 139,822 ක් ද 2016 වසරේදී මරණ 130,765 ක් ලෙස ද වාර්තා වී ඇත.

සාමාන්‍යයෙන් වසරකට සිදුවන විවාහ සංඛ්‍යාව ඉකුත් වසර කිහිපයේදීම එක්ලක්ෂ හැටදහස ඉක්මවා සිදුවී තිබෙන අතර ඒ අනුව 2019 වසරේ විවාහ 163,441 ක් ද 2018 දී 170,027 ක් ද 2017 දී 169,365 ක් ද 2016 දී 173,990 ක් ද ලෙස සිදුවී තිබේ. මේ අනුව බලන කල කොවිඞ් වසංගතය නිසා අලූතින් විවාහ වන හා අනෙකුත් මවුවරුන් වසරක කාලයක් හෝ ඊට වැඩි කාලයක් ගැබ් ගැනීම සීමා කළහොත් එය මෙරට ජන සංඛ්‍යාව අඩු වීමට හේතුවනු ඇතැයි ද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

කොවිඞ් වෛරසයේ නව ප‍්‍රභේද මතුවීමත් එම වෛරස ගැබිනි මවුවරුන් හා කුසේ සිටින දරුවන් අවදානමට පත්කළ හැකි නිසාත් අඩුම තරමින් වසරක කාලයක්වත් ගැබ් නොගෙන දරුවන් සැදීම පමා කරන්න යැයි ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉකුත් 09 වැනිදා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. නව ඩෙල්ඩා ප‍්‍රභේදයෙන් ගැබිනි මවුවරුන්ට හා දරු ගබේ සිටින බිළිඳාට යම් යම් ගැටලූ මතුවන ප‍්‍රවණතාවය නිසා විශේෂඥ වෛද්‍යවරයා කළ එම ඉල්ලීම කාලෝචිත එකකැයි විවාදයක් නැතැයි සෙසු වෛද්‍යවරු ද කියා සිටිති. වසංගතයේ බරපතළකම කොතෙක්ද යත් මේ වනවිට දරු ප‍්‍රසූතියට සූදානම්ව සිටි ගැබිනි මවුවරු 40 කට අධික සංඛ්‍යාවක් කොරෝනා වෛරසය වැළඳී මියගොස් සිටිති. ඊට අමතරව වෛරසය ආසාදිත ගැබිනි මවුවරුන් ගණන පන්දහස් පන්සියය (5500) ඉක්මවා ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වික‍්‍රමාලි ද සිල්වා මහත්මිය හෙළි කළාය. එලෙස මියගිය ගැබිනි මවුවරුන්ගෙන් බහුතරයකට හෘද රෝග, ලියුකේමියාව, පිළිකා ඇතුළු විවිධ රෝගාබාධ තිබූ බව ද ඇය හෙළිකර තිබිණි.

වසංගතයේ බරපතළකම මෙයින් ඉතා පැහැදිලි වන බවත් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යෑමත් සිදුවන උපත් සංඛ්‍යාව පාලනය කිරීමත් හරහා මෙරට පමණක් නොව ලොව පුරා ජනගහනය ඉදිරි වසර කිහිපයේදී සැලකිය යුතු අන්දමින් පහළ යනු ඇති බවත් වෛiවරු කිහිප දෙනෙක්ම ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට කියා සිටියහ.

මේ අතර මේ පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ එම අදහස වෛද්‍යවරයකුගේ පෞද්ගලික අදහසක් මිස රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිගමනයක් නොවන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment