ගැබිනි මව්වරු 9ක් කොරෝනාට බිලි – 2,168දෙනෙක් ඊයේ සුවය ලබති

330

කොවිඞ් ආසාදිතව මේ දක්වා මෙරට මියගොස් ඇති ගැබිනි මව්වරුන්ගේ ගණන 09ක් යැයි පවුල් සෞඛ්‍ය සේවිකා සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ගර්භණී කාන්තාවන් වෙනුවෙන් ‘සයිනොෆාම්’ එන්නත ලබා දීම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ඊයේ (09දා) උදෑසන ආරම්භ විය.

ඒ අනුව වයස අවුරුදු 35 ඉක්මවූ විවිධ සංකූලතා සහිත ගැබිනි කාන්තාවන් 35දෙනෙකුට මෙම එන්නතෙහි පළමු මාත‍්‍රාව ලබාදීම සිදුවිය.

මේ අතර මෙරට දිනපතා වාර්තා කරන කොවිඞ් මරණ අතර එක් දිනකදී වාර්තා කළ වැඩිම කොවිඞ් ආසාදිත මරණ සංඛ්‍යාව පෙරේදා (08දා) වාර්තා විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ එම මරණ ගණන 54කි. මෙම මරණ සංඛ්‍යාවත් සමග මෙරට මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඞ් මරණ සංඛ්‍යාව 1,844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මරණයට පත් 54 දෙනාගෙන් 22දෙනකුම කාන්තාවන් වන අතර සෙසු 32 දෙනා පිරිමි පුද්ගලයෝය.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 2,168 දෙනකු සුවය ලබා ඊයේ (09 දා) රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතව සිට මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 180,427 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 28,391 දෙනකු අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල හෝ රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර ඊයේ තවත් කොවිඞ් ආසාදිතයන් 2173දෙනකු වාර්තා විය.

advertistmentadvertistment
advertistmentadvertistment