ගැම්බියා ළමා මරණවලට මුල් වූ සිරප් නිෂ්පාදන සමාගමේ කටයුතු නතර කරයි

278

ගැම්බියාවේ ළමුන් 70 දෙනකුට මරු කැඳවූ කැස්ස සඳහා නිර්දේශ කරනු ලබන සිරප් වර්ග 04ක් නිපදවූ ඉන්දීය බෙහෙත් සමාගම අදාළ ළමා මරණවලට වගකිවයුතු බව පවසමින් එම සමාගමේ සියලු නිෂ්පාදන කටයුතු නතර කිරීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මේ අනුව ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පිහිටි අදාළ සිරප් වර්ග නිපදවූ ‘මේඩන් පාමසියුටිකල්ස්’ සමාගමට සිරප් වර්ග ඇතුළු සියලු බෙහෙත් නිෂ්පාදනය කිරීමේ කටයුතු නතර කරන ලෙස ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් විසින් නියෝග කර තිබේ. ගැම්බියානු ළමුන්ගේ මරණ සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලදී අදාළ සමාගම සිරප් වර්ග නිපදවීමේ ක්‍රියාදාමයේදී හා එම සිරප් වර්ග පරික්ෂාවට ලක් කිරීමේදී මූලික නීති උල්ලංඝනය වන අයුරින් කටයුතු කර ඇති බව හෙළි වීම මෙම පියවර ගැනීමට හේතු වී තිබේ. මතභේදයට ලක්ව ඇති සිරප් වර්ග හතර නිපදවීමේදී ‘මේඩන් පාමසියුටිකල්ස්’ සමාගම ආරක්ෂණ නීති ගණනාවක් උල්ලංඝනය කර ඇති බව ඉන්දීය බෙහෙත් නියාමන නිලධාරීහු පවසති. අදාළ සමාගම විසින් නිපදවා ගැම්බියාවට අපනයනය කර තිබූ ‘ප්‍රොමෙතසින් ඕරල් සොලියුෂන්’, ‘කොෆෙක්ස්මලින් බේබි කෝෆ් සිරප්’ මැකොෆ් බේබි කෝෆ් සිරප් හා මැග්රිප් එන් කෝල්ඩ් සිරප් යන සිරප් වර්ග පානය කිරීමෙන් පසු ගැම්බියානු ළමුන් 70 දෙනකු මේ දක්වා මිය ගොස් ඇති අතර තවත් පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින බව වාර්තා වී තිබේ. අදාළ ළමා මරණ සම්බන්ධයෙන් ඉන්දියාවේ හා ගැම්බියාවේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment