ගැමීබියාවේ දරුවන්  66කට මරු කැඳවූ ළමා සිරප් ලංකාව ඇතුළු රටවල් 42කට යවලා

554

ගැමීබියාවේ කුඩා ළමයින් 66 කට මරු කැඳවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චෝදනා කර ඇති සිරප් වර්ග හතර නිපදවූ ඉන්දීය බෙහෙත් සමාගම ගැමීබියාවට පමණක් එම සිරප් අපනයනය කර ඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් විසින් පැවසුවද එම සමාගමේ නිෂ්පාදන ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් හතළිස් දෙකකට පමණ අපනයනය කරන බව එම සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වෙයි.

මේ අනුව අදාළ සිරප් වර්ග නිපදවා ඇති මේඩන් ෆාර්මසියුටිකල්ස් සමාගම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් මෙන්ම අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් හතළිස් දෙකකට පමණ සිය නිෂ්පාදන අපනයනය කරන බව එම වෙබ් අඩවියෙහි පළ කර ඇති ගෝලීය සිතියමෙහි සලකුණු කර තිබේ. එමෙන්ම සමාගමේ නිෂ්පාදන ඉන්දියාවේ ද බෙදා හරින බව වෙබ් අඩවියෙහි සඳහන් කර තිබේ.

ගැම්බියාවේ ළමයින් 66 දෙනකු මෙම සමාගම නිෂ්පාදනය කරන ළමා සිරප් වර්ග හතරක් පානය කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කිරීමත් සමගම මේඩන් සමාගම සහ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍යයට පවසා ඇත්තේ මතභේදයට තුඩු දී ඇති ළමා සිරප් වර්ග හතර අපනයනය කරන ලද්දේ ගැම්බියාවට පමණක් බවත් එම සමාගමේ නිෂ්පාදන ඉන්දියාවේ බෙදා නොහරින බවත්ය. මේ අතර අදාළ සිරප් වර්ග හතරෙහි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාවේ මධ්‍යම රසායනාගාරය වෙත යවා ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම සිරප් වර්ග නිපද වූ මේඩන් සමාගම 1990 වසරේ සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර වාර්ෂිකව සිරප් බෝතල් මිලියන 2.2ක්, බෙහෙත් කරල් මිලියන 600ක්, එන්නත් මිලියන 18ක්, ආලේපන ටියුබ් තුන් ලක්ෂයක් හා බෙහෙත් පෙති බිලියන 1.2ක් සමාගම විසින් නිපදවා බෙදා හරින බව මේඩන් සමාගමේ නිල වෙබ් අඩවියෙහි සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment