ගැරඬි ඇල්ල සහ ගැරඬි ගල

274

සතර අතම වටකොට ඇත්තේ උස්වූ කඳු ශිඛරය. සීතලෙන් සීත වුණු මුළු පරිසරයම නිහඬය. නමුත් පහතට වැටෙන ගැරඬි ඇල්ල දිය ඇලි සමූහයේ ශබ්දය පමණක් ඇසේ. “ගැරඬි ඇල්ල” පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේය. ගැරඬි ඇල්ල කොටස් කීපයකට කඩා හැලෙන දිය ඇලි දාමයකින් සමන්විත සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වේ.

ශ්‍රී ලංකාවේ ගැරඬි ඇල්ල නමින් දිය ඇලි කීපයක්ම තිබෙන අතර, බණ්ඩාරවෙල ඇටම්පිටිය ගැරඬි ඇල්ල, පස්සර ගැරඬි ඇල්ල, කොත්මලේ ගැරඬි ගිනි ඇල්ල හා ගැරඬි රිකිලි ඇල්ල නමින් ප්‍රදේශ කීපයකින්ම මෙම නමින් දිය ඇලි හඳුන්වති. නමුත් අද සංචාරක සටහනේ ගැරඬි ඇල්ල පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ මහනුවර මහියංගනය මාර්ගයේ තෙල්දෙණිය මැදමහනුවර ප්‍රදේශයේය. එසේම ගැරඬිගල යනුවෙන් හඳුන්වනු ලබන කඳු වැටිය පිහිටා ඇත්තේද මෙම ප්‍රදේශයේය. මෙය “කළුගල ගැරඬි ඇල්ල” නමින් ද හඳුන්වනු ලබන අතර අදාළ ප්‍රදේශයට ආවේනිකව මෙම නාමය යොදා ගන්නට ඇත. ඒ අනුව හුන්නස්ගිරිය හා කන්දේගම කඳු පන්තිය අතර මෙම දිය ඇල්ල මනාව දිස්වෙන බව සඳහන් කළ යුතුය.

මහනුවර මහියංගනය ඒ 26 මාර්ගයේ උඩුදුම්බර නගරයේ සිට කිලෝමීටර් 15 ක් පමණ දුරින්, කළුගල ගෙදරමඩ ග්‍රාම නිලධාරි වසමේ ගැරඬි ඇල්ල පිහිටා ඇත. මෙම මාර්ගයේ ගමන් කරන විට තවත් මනරම් දියඇල්ලක් වන තලගුණේ ඇල්ලේවල ඇල්ල දර්ශනය වේ. ගැරඬි ඇල්ල නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන දිය ඇලි තුනක් ඇතුළුව තවත් දියඇලි හතරක් සහිතව දිය ඇළි හතක එකතුවකිනි. මෙම දිය ඇල්ලට ගැරඬි ඇල්ල නම් නාමය ලැබී ඇත්තේ, කඳු පන්තිය මැදින් ගලා හැලෙන ආකාරය ඈතට දිස්වන්නේ ගැරඬියෙක් වැනි සත්වයෙක් ගමන් කරන ආකාරයට වන නිසාය. අඩි 787 ක් පමණ උසකින් යුතු මෙම දිය ඇල්ල, අනෙකුත් දිය ඇලි දාමය සඳහා ගමන් කිරීමේදී වෙන වෙනම ගමන් කළ යුතුය. මෙම ගමන තරමක් අපහසු කඳු තරණයක් බවද සඳහන් කළ යුතුය. කෙසේ වුවද අත්දැකීම් සහිත කඳු තරණය කරන්නන්ට නම් අපහසු නොවන තරණයකි.

නකල්ස් රක්ෂිතය ආසන්නයේ ඝන වනාන්තර, හරිත පරිසරයක භූ විද්‍යාත්මක ලක්ෂණ සහිත මෙම දිය ඇල්ල සහිත ප්‍රදේශයේ ආවේනික රුක්ගොමු හා සත්වයින්ගෙන් ද යුක්ත වේ. වර්ෂාව කාලයන් හි ගැරඬි ඇල්ල මනරම් ආකාරයෙන් දර්ශනය වන අතර එය දකින සංචාරකයන්ගේ නෙත් සිත් පිනා යනු නිසැකය. ගැරඬි ගල තරණය කිරීමට අඩි පාරක් දිගේ ඇල්ලේ සිට ඉහළට නැඟිය යුතුය. මානා පඳුරු අතරින් දිවෙන අඩි පාර දුෂ්කර ගමනක් සටහන් කළද, එහි ගමනාන්තය සුන්දර වනු නිසැකය.

ගැරඬි ගල පාමුල ඇත්තේ කුඹුරකි. එහි ගැමි පැල්පත් ද දැකගත හැකිය. දළ නැග්මක් තිබුණද තුරුලතා මැදින් ඉදිරියට යන ගමන සුන්දරය. තුරුපතර අතරින් ඈතට වන්නට, වනතුරුලතා දැක ගත හැකිය. අවසානයේ හමුවන්නේ සමතලා බිමකි. නම මෙන්ම ගැරඬිගල ද විශේෂත්වයකින් යුතු වේ. පැති දෙකකින් යුතුව මැද කොටසින් වම් පසට බරව කුඩා නිම්නයක් ලෙසින් තිබෙන ස්ථානයෙන් දිය පහර ගලාගෙන යන අතර ඉහළ සිට පහළට ස්ථාන කීපයක් ඔස්සේ ඇද වැටෙන මෙම ඇලි අවසානයේදී මහවැලි ගඟට එකතු වේ. ගැරඬි ගල මුදුන දර්ශනය ද ඉතා අලංකාරය. කලුගල කෙත්වතු ව්‍යාප්ත වූ විශාල කලාපයක් මෙහි මුදුනත සිට දැක ගත හැකිය. එසේම නකල්ස් කඳු වැටියේ ශිඛරයන් කීපයක්ම දැක ගත හැකි අතර, කෙහෙල්පත් දොරුවේගල හා යහන් ගල මේ අතර කැපී පෙනේ. මෙහි සිට අලුයම හිරු උදාව අති චමත්කාර අන්දමට දැකගත හැකිය. එසේම මහියංගනය නගරය පූර්ව වශයෙන් ද දැකගත හැකිය. මෙම ස්ථානයේ ගමන් කිරීමේදී පරිස්සම් විය යුතුය. එයට හේතුව ගල් කුට්ටි මත තිබෙන දිය සීරාවන් නිසා පය ලිස්සා යෑමේ අවදානමක් ඇති බැවිනි. ගැරඬි ගල කඳු නැඟීමේ ප්‍රදේශයක් වශයෙන්ද, කඳවුරු බැඳීමේ ස්ථානයක් වශයෙන්ද ප්‍රසිද්ධය.

ගැරඬි ඇල්ල නිරීක්ෂණය කිරීමට සුදුසුම කාලය නම් මෝසම් වර්ෂාවෙන් පසුව එළඹෙන පෙබරවාරි අග හා මාර්තු මාසය යන කාලපරිච්ඡේදයයි. මෙම කාලයේදී මෙහි සංචාරයේදී කූඩැල්ලන් බහුලව ඇති තෙත් බිම් ප්‍රදේශයක් බැවින් අවධානයෙන් යුතුව යා යුතු ගමනක් බවද සඳහන් කළ යුතුය. මැයි ජූලි කාලවලදී ඇල්ලේ ජල මට්ටම අඩුව පවතී. මෙම ප්‍රදේශයේ සාම්ප්‍රදායික ගැමි සිරිය විඳ ගත හැකි අතර එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිතයද, වත්පිළිවෙත්ද දැකීමෙන් නාගරික නොවූ ගැමි අසිරිය හා සුවඳ විඳගත හැකිය. ගැරඬි ගල හා ගැරඬි ඇල්ල යනු තනි කන්දක ස්ථානයකින් දිය ඇලි හතක් පරිසරයට දායාද කර ඇති අති සුන්දර පෙදෙසකි.

මේ ප්‍රදේශයේ ගැමියන් ගැරඬි ඇල්ල හඳුන්වන්නේද විශේෂ නමකිනි. එනම් හත්මාලේ ඇල්ල නමිනි. ගැරඬි ඇල්ල කලුගල ප්‍රදේශයේ ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය ජලය සපයයි.

සටහන- එම්. තාරික්

advertistmentadvertistment
advertistmentadvertistment