ගැසට්ටුවත් සමග බිත්තර සඟවති

190

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමග වෙළෙඳපොළේ විශාල බිත්තර හිඟයක් නිර්මාණය වී ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක්ද, රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක්ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය මගින් ගැසට් නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විට සිල්ලර වෙළෙඳපොළේ සුදු බිත්තරයක් රුපියල් 60 – 62 අතර මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 65-70 අතර මිලකටත් අලෙවි විය.

කෙසේ වෙතත් පාලන මිල පැනවීමත් සමග තොග හා සිල්ලර වෙළෙඳුන් බිත්තර අලෙවියෙන් ඉවත් වූ අතර ඇතැම් වෙළෙඳසල්වල බිත්තර අලෙවි නොකරන බවට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

මේ හේතුවෙන් නිවෙස්වල ගෘහ කර්මාන්තයක් ලෙස කුඩා කුකුළු ගොවිපළ පවත්වාගෙන යන ගොවීන්ට ඉහළ ආදායමක් ලැබෙන්නට පටන්ගෙන ඇති අතර ඔවුන් සිය නිවෙස්වල රුපියල් සියය ඉක්මවූ මිලකට ගම් බිත්තර අලෙවි කිරීමට පටන් ගෙන ඇත. වෙළෙඳපොළේ පවතින බිත්තර හිඟය හේතුවෙන් පාරිභෝගිකයන් කුකුළු ගොවිපළ වෙත ගොස් බිත්තර මිලදී ගැනීමට පටන්ගෙන ඇත.

එසේම කොළඹින් පිටත මහනුවර වැනි ප්‍රදේශවල පසුගිය දිනවල බිත්තරයක් අලෙවි වූයේ රුපියල් 70 ඉක්මවූ මිලකට වන අතර පාලන මිල පැනවීම හේතුවෙන් එම ප්‍රදේශවල ද කිසිදු වෙළෙඳ සලක බිත්තර අලෙවියක් සිදු නොවන බව දැකගත හැකි විය.

සත්ත්ව ආහාර මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළ යෑම නිසා පසුගිය කාලය පුරාම බිත්තර හා කුකුළු මස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගියේය. කුකුළු ගොවිපළ හිමිකරුවන් පවසන්නේ සත්ත්ව ආහාර සඳහා වැයවන අධික මිල පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකර, බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීම අසාධාරණ බවයි.

කෙසේ වෙතත් හැකි ඉක්මනින් මෙම බිත්තර හිඟය හා අධික බිත්තර මිල පාලනය කිරීමට රජය මැදිහත් නොවුණහොත් ඉදිරියේදී දරුවන් පෝෂණ ඌනතාවන්ට මුහුණ දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පෝෂණවේදීහු අනතුරු අඟවති.

කමල් බෝගොඩ හා සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment