ගැසට් ගසා සති 2 ක් ගියත් පොහොර කෘෂි රසායන තාමත් නෑ

106

– හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්

මුදල් අමාත්‍යාංශය විසින් පොහොර සහ කෘෂි රසායන ගෙන්වීමට අනුමැතිය ලබාදෙන ගැසට් පත‍්‍ර නිකුත් කර සති දෙකකට වඩා ගත වී ඇති නමුත් මේ දක්වා පොහොර හෝ කෘෂි රසායන කිසිවක් ආනයනය කර නැතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ මේ හේතුවෙන් ඉන්දියාව හරහා බෝට්ටු මගින් කෘෂි රසායන ගෙන්වන මාෆියාවක් නිර්මාණය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ පවසයි.

කුමන හෝ පළිබෝධ නාශකයක් රටට ගෙන්වන්න නම් පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්ගේ අනුමැතිය අවශ්‍යයි. දැන් සති තුනකට වැඩි කාලයක් රටේ පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් කෙනෙක් නෑ.

ඒ නිසා ඉන්දියාවෙන් බෝට්ටු හරහා ගේන ප‍්‍රමිතියකින් තොර පළිබෝධ නාශක වැටලීම් සිදුකරන්නේ නෑ. ඔළුවිල්, වැලිගම, මන්නාරම හා ත‍්‍රිකුණාමලය හරහා සිදුකරන බෝට්ටු කෘෂි රසායන මාෆියාවක් හරහා කාබනික ලේබල් ගහගෙන හොරබඩු ජාවාරම් කරනවා.

දැන් මේ කන්නයට පොහොරත් නෑ. වගා කරලා තියෙන්නේ ගොවි බිම්වලින් තුනෙන් එකක් විතරයි. ඒවා දැන් වල් නෙළාගන්න බැරිව විනාශ වෙලා යනවා. පොහොර නැතුව අස්වැන්නක් නෑ. මේ කන්නය මඟහැරිලා ඉවරයි. දැන් ජනවාරි, පෙබරවාරි මාස දෙකේ වගාවට වත් පොහොර බෙහෙත් ගෙන්වීම අවශ්‍යයි. රටේ අවශ්‍යතාවයෙන් 50% ක් ගේනවා කියලා රටම රවට්ටලා, එකම බෙහෙතක්වත් ගේන්න බැරි කරලා තියෙනවා.

ගාල්ල – එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment