ගැසට් ගැහුවට ඉවර නැති හාල් මාෆියාව

130

මහාපරිමාණ මෝල් හිමියෝ නිසා සුළු පරිමාණ මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ අමාරුවේ වැටෙති

හාල් කිලෝව තුන්සියයත් පන්නන හැඩ

මේ දිනවල රටේ සහල් හිඟයක් ඇතිවී තිබෙන බව ප්‍රකට කාරණයෙකි. කොළඹ ඇතුළුව තදාසන්න දිස්ත්‍රික්කවල මෙන්ම පිටපළාත්වලද වෙළෙඳපොළේ මෙම සහල් හිඟය පවතින බව මහජනතාව කියති. සහල් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කවලින් මේ දිනවල කොළඹට ලැබෙන සහල් තොග ඉතාමත් සීමිත බව පිටකොටුවේ තොග වෙළෙඳුන් පැවැසූහ. හෙට අනිද්දා වනවිට මෙය තවත් උග්‍රවනු ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

එමෙන්ම වෙළෙඳපොළේ සහල් මිලද ශීග්‍ර ලෙස වැඩිවෙමින් පවතිනුයේ පාරිභෝගිකයාට දැරිය නොහැකි අන්දමටය. බොහෝවිට වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් පවතින විට එහි මිල ඉහළයෑම සාමාන්‍ය තත්ත්වයෙකි. එසේ වුවද මිල ඉහළ දැමීම අරමුණු කරගනිමින් මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් කෘත්‍රිම ලෙස සහල් හිඟයක් ඇතිකරන බවට ඇතැමුන් කියා සිටිති. එසේවුවද එය කොතරම් දුරට සැබෑවක්ද යන්න තහවුරු කිරීමට පැහැදිලි සාධක නොමැත. කෙසේ නමුත් වෙළෙඳපොළේ සහල් හිඟවීමට කාරණා කිහිපයක් බලපා තිබෙන බව පැහැදිලිය. ප්‍රධාන වශයෙන්ම සහල් තොග මිල ඉතා අධිකවීම ඉන් එක් කාරණයෙකි. මහා පරිමාණ සහල් මෝල් හිමියන් මේවනවිට මිල නියමකර තිබෙන මිලට සහල් මිලදීගෙන සහල් කිලෝවක් අලෙවි කිරීමට සිදුවන්නේ රජයේ පාලන මිලට වඩා බොහෝ සෙයින් වැඩි මිලකට බවයි සිල්ලර වෙළෙඳුන් කියා සිටියේ. එම නිසා බොහෝ සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීම තාවකාලිකව නවතාදමා ඇති බවද දැනගන්නට ලැබිණි. එයට හේතුව රජය පනවා තිබෙන පාලන මිලට වඩා සහල් තොග මිල බොහෝ සෙයින් ඉහළ මට්ටමක පැවැතීමය. මේ සටහන ලියන මොහොත වනවිට ප්‍රධාන පෙළේ මහා පරිමාණ සහල් මෝල් කිහිපයක නාඩු වර්ගයේ සහල් තොග මිල කිලෝවක් රුපියල් 280ක්, 290ක් දක්වා ඉහළ දමා තිබෙන බව විශ්වාස කටයුතු මාර්ගවලින් දැනගන්නට ලැබිණි. එම සහල් කොළඹ, ගම්පහ, කළුතර, පානදුර වැනි නගරවල කිලෝවක් රුපියල් 300ක් ඉක්මවන මිලකට හැර අලෙවි කිරීමේ හැකියාවක් නොමැතිබව කියති. මෙලෙස අධික මිල ගණන්වලට සහල් තොග අලෙවි කිරීම යනු ඉතා අප්‍රකටව මෙන්ම රහසිගතව කෙරෙන ජාවාරමක් වන අතර ඒ වැඩිමිල සඳහන් බිල්පතක්වත් මහා පරිමාණ සහල් මෝල් මගින් නිකුත් නොකරන බවද කියති. එසේ වුවද ඇතැම් ප්‍රදේශවලින් පැමිණෙන සහල් තොග මිලදී ගන්නන් කලින් මුදල් ගෙවා එම මිලට සහල් මිලදී ගන්නා බවද අනාවරණය විය.

මේ අතර පාලන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කරන වෙළඳසල් වටලන බව පාරිභෝගික අධිකාරිය කියයි. එම නිසා පාලන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කර නීතියේ රැහැනට හසුවී අසීමිත දඩයකට ලක්වීමට වඩා ඒ වෙළෙඳාම ටික කලකට හෝ නවතා දැමීම ඇඟට ගුණ යැයි කල්පනා කර එසේ තීරණය කළ බව දැනට සහල් වෙළෙඳාම තාවකාලිකව නවතා ඇති එම සිල්ලර වෙළෙඳුන් කිහිපදෙනකුම ප්‍රකාශ කළහ.

වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඩීසල් හිඟය ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බව සහල් මෝල් හිමියෝ කියති. සහල් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කවල සිට කොළඹට සහ වෙනත් පිට පළාත්වලට සහල් තොග ප්‍රවාහනය කිරීමට ඩීසල් නොමැතිකම ප්‍රධාන බාධකයක් වී තිබෙන බවයි ඔවුන් ප්‍රකාශකළේ. එසේ වුවද ඇතැම් මහා පරිමාණ සහල් මෝල් හිමියන් මේවනවිටත් ඩීසල් තොග විශාල වශයෙන් ගබඩා කරගෙන සිටින බව තතුදත් ආරංචි මාර්ග කියයි. එම නිසා ඔවුනට සහල් ප්‍රවාහනය කිරීම සඳහා කිසිදු ගැටලුවක් පැනනොනගින බවද කියති. ඔවුන් මේ ඩීසල් තොග විශාල වශයෙන් ගබඩා කරගෙන සිටිනුයේ සහල් ප්‍රවාහනයට ප්‍රමුඛතාව ලබාදීමට වඩා ඉදිරි දිනවලදී වී අස්වනු නෙළන ප්‍රදේශවලින් වී තොග මිලදීගෙන ගබඩා කිරීමට බවද දැනගන්නට ඇත. යම් හෙයකින් රජය දැනට පනවා තිබෙන සහල් පාලන මිල ඉවත්කළහොත් සහල් තොග පමණක් නොව ඩීසල් තොගද කලඑළි බසිනු පැහැදිලිව දැකගත හැකිවනු ඇති බවද කියති. මේ අතර වරින්වර ඩීසල් මිල වැඩිවීම සහල් මිල ඉහළ යෑමටද බලපෑ බවයි සහල් මෝල් හිමියන් පවසන්නේ. ඊට අමතරව වී මිලද දවසින් දවස ඉහළයෑමද සහල් මිල ඉහළ යෑමට විශාල වශයෙන් බලපා තිබෙන බව සහල් මෝල් හිමියෝ අප කළ කරුණු විමසුමකදී කියා සිටියහ.

ගැසට් ගැහුවට ඉවර නැති හාල් මාෆියාව

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මරඳගහමුල සහල් මෝල් හිමියන් කිහිපදෙනකුම ප්‍රකාශ කළේ එදිනෙදා පවතින මිලට වී මිලදීගෙන සහල් නිෂ්පාදනය කරන කුඩා පරිමාණ සහල් මෝල්වලට වී මිල ඉහළයෑම කිසිසේත්ම දරාගැනීමට නොහැකි බවය. එහෙත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව ඉදිරි මාස කිහිපයකට වුවද ප්‍රමාණවත් තරම් වී තොග ඔවුන්ගේ ගබඩාවල තිබෙන නිසා එවැනි ප්‍රශ්නයක් පැනනොනගින බවද සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ කියා සිටියහ. එම නිසා වර්තමානයේ පවතින මිලට වී මිලදීගෙන සහල් නිපදවීම ලාබදායක නොවන බවද ඔවුහු කියා සිටිති. මේ නිසා බොහෝ සහල් මෝල් හිමියන් සහල් නිෂ්පාදනය මේ දිනවල තාවකාලිකව නවතාදමා ඇති බවද ඔවුහු ප්‍රකාශ කළහ.

සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා පෙන්වා දෙන්නේ ඉදිරියේ ඇතිවන බරපතළ සහල් හිඟයක් පිළිබඳව රජයේ වගකිවයුතු අංශ වෙතින් පසුගියදා අනතුරු ඇඟවීම නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් ඇතුළු මිල මුදල් තිබෙන අය රටේ වී නිෂ්පාදනය කරන ප්‍රදේශවලින් වී තොග වැඩි මිලට ලබාගෙන එක්රැස්කර කිරීමට පටන් ගෙන තිබෙන බවයි. ඉදිරි කාලයේදි රටේ සහල් හිඟයක් ඇතිවුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මේ වී තොග ගබඩාකර තබාගැනීම ඔවුන්ගේ අරමුණ බවද කීය. මේ නිසා වී මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙන බව ඒ මහතා පෙන්වාදෙයි. මේ පිරිස් ඇතැම් ප්‍රදේශවලට ගොස් වී කිලෝවක් රුපියල් 180, 190, 200 වැනි ඉහළ මිලට මිලදී ගන්නා බවට තොරතුරු වාර්තාවන බවද ඒ මහතා කීය. වෙළෙඳපොළේ වී මිල හිටි අඩියේ ඉහළ යෑමට මේ තත්ත්වය විශේයෙන්ම බලපා තිබෙන බවද ඒ මහතා කීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයතිස්ස මහතාද මේ බව තහවුරු කරමින් පැවැසුවේ කොළඹ, ගම්පහ, රත්නපුර, බලංගොඩ ආදී ප්‍රදේශවලින් කුඩා ලොරි සහ වෑන් රථවලින් පැමිණෙන පිරිස් තම ප්‍රදේශවලින් වී තොග එක්රැස් කිරීමට පටන්ගෙන තිබෙන බවය. දිවයිනේ වී නිෂ්පාදනය කරන අනුරාධපුර, පොලොන්නරුව ඇතුළු වෙනත් දිස්ත්‍රික්ක වලින්ද තමන්ට මේ තත්ත්වය වාර්තා වූ බව ඒ මහතා කීය. ඔවුන්ගේ මෙම වැඩපිළිවෙළ නිසා වී මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

දැන් පවතින සහල් හිඟයට විශේෂයෙන්ම බලපා ඇත්තේ ඩීසල් හිඟය බවයි කොළඹ පිටකොටුවේ තොග වෙළෙඳුන් කිහිප දෙනකුම කියා සිටියේ. එමෙන්ම සහල් මිල ඉහළ යෑමටද ප්‍රධාන හේතුව ඩීසල් මිල වැඩිවීම බවද ඔවුන් සඳහන් කළේය. මේවනවිට පොලොන්නරුව, අනුරාධපුරය, කැකිරාව වැනි ප්‍රදේශවලින් සහල් කිලෝවක් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා රුපියල් 6ක් හෝ 7ක් වැනි මුදලක් අයකෙරෙන බවද කියා සිටියහ. ඊටත් වඩා දුරබැහැර පළාත්වලින් අයකෙරෙන ප්‍රවාහන කුලිය ඊටත් වඩා වැඩිබවද ඔවුහු කීහ.

මේ අතර ඇතැම් මහා පරිමාණ සහල් මෝල් හිමියන් මේවනවිට සිය සහල් නිෂ්පාදනය පහළදමා ඇති බව කියති. මෙසේ නිෂ්පාදනය අඩුකිරීමට හේතුව ඉන්ධන නොමැතිකමින් සහල් ප්‍රවාහනය කිරීමට නොහැකි වීමද වෙනත් හේතුවක්ද යන්න නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැත. එය ප්‍රවාහන ගැටලුවට වඩා සහල් හිඟයක් වෙළෙඳපොළේ ඇතිකරවීමත් එමගින් යළිත් වතාවක් සහල් පාලන මිල ඉවත්කරවා ගැනීමත් සහල් මෝල් හිමියන්ගේ අරමුණ වියහැකි යැයි ඇතැමුන් කියා සිටිති. මේ අතර මහා පරිමාන සහල් මෝල් හිමියන් සහල් තොග සඟවා තබාගෙන වෙළෙඳපොළට නොඑවන බවට රජයට තොරතුරු ලැබී ඇතැයි අනාවරණය වේ. සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබාගැනීම වැළැක්වීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශකර තිබුණි. පසුගිය ආණ්ඩුව කාලයේද මේ ආකාරයටම සහල් හා වී තොග සම්බන්ධයෙන් නීති ක්‍රියාවේ යොදවන්නට ගොස් නැටූ නාඩගමක් පිළිබඳව අපගේ මතකයට නැඟේ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ සහල් මෝල් හිමියන් මට්ටුවීමක් නොව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ පදයට ආණ්ඩුව නැටීමය. සහල් සම්බන්ධයෙන් එතෙක් පැවැති පාලන මිල ඉවත්කර සහල් කිලෝවේ මිල තීරණය කිරීමේ පරම අයිතිය මෝල් හිමියාටම පැවැරුණේ ඒ ඇවෑමෙන් බවද පෙන්වාදිය යුතුය. එමෙන්ම සහල් කිලෝවේ මිල අසීමිතව ඉහළ දමමින් හිතුවක්කාර දඩබ්බර තීරණ ගැනීමේ අයිතියද එමගින් මෝල් හිමියා වෙත පැවැරුණු අතර එම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය ලෙස සහල් මිල අහස උසට ඉහළයෑම ගැන එතරම් පුදුම වියුතුද නැත.

කෙසේ නමුත් දැනට රටේ වී නිෂ්පාදනය අඩාලවීම රටේ සහල් හිඟයක් ඇතිවීමට මූලික වශයෙන් බලපා තිබෙන බව නොරහසකි. එහෙයින් ඉදිරි කාලයේදී සහල් හිඟය තවදුරටත් උග්‍රවීම අනිවාර්ය බව පෙන්වාදිය යුතුය. සහල් මිලද දැනට පවතින මිලටත් වඩා දෙතුන් ගුණයෙකින් ඉහළ යෑමද නොවැළැක්විය හැකිවනු ඇත.

මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයක් නිර්මාණය වූයේ නියං සායක් හෝ එවැනි දුර්භික්ෂයක් රටේ ඇතිවී නොව පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් නිසා බව රටම දන්නා කරුණෙකි. පැහැදිලිවම කිවහොත් ගොවියාට ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ලබානොදීම හේතුවෙන් පසුගිය මාස්කන්නයේ පටන් වී ගොවිතැනට කණකොකා හඬන්නට පටන්ගත් බව ගොවි ජනතාව කියා සිටිති. පසුගිය මාස් කන්නයේ වී අස්වැන්න වෙනත් කන්නවලට වඩා සියයට පනහකින් පමණ පහළ වැටුණු බව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලින පවා හෙළිවී ඇත. ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීමට ගත් තීරණය වැරදි බව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද එය නිවැරදි කරන්නට පියවර නොගැනීම නිසා මෙවර යල් කන්නයේද ගොවීන්ට වී වගා කිරීමට සිදුව ඇත්තේ රසායනික පොහොර නොමැතිවය. ඊට අමතරව ඩීසල් නොමැතිකමින් මෙවර වී වගාව විශාල වශයෙන් ඇනහිට තිබෙන බව වී වගා කරන දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි. යල කන්නයේ වී වගාව සඳහා වැව්වලින් ජලය නිකුත්කර මේ වන වනවිට මාසයකටත් වැඩි කාලයක් ගතවී ඇතත් වී වගාව අවසන් කර ඇත්තේ සියයට 30ක පමණ බව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි නායකයන් කියා සිටිති. මේ අනුව පසුගිය කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් රටට ලැබුණු වී අස්වැන්නෙන් පහෙන් එක් කොටසක්වත් මෙවර ලැබේදැයි සැකසහිත බව ඔවුහු ප්‍රකාශ කළහ. මේ අතර පසුගිය මාස් කන්නයේ රජයෙන් ගොවීන්ට නොමිලයේ ලබාදුන් ආකාරයට මෙවරද කාබනික පොහොර ලැබී ඇතත් ඒ කාබනික පොහොරවල ගුණාත්මක තත්ත්වය කෙබඳුද යන්න පිළිබඳව බලවත් සැකයක් මතුවන බවද ගොවි ජනතාව කියා සිටිති. ඒ අනුව මෙවර යල කන්නයේ වී අස්වැන්න පසුගිය කන්නයේ අස්වැන්නටත් වඩා අඩුවේනම් ඒ තුළින් රටට ඇති තරම් බත නිපදවෙනු ඇතැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැක. එම නිසා බත්පතේ හෙට දවස පිළිබඳව එතරම් සුබවාදී බලාපොරොත්තු තැබීමට හැකියාවක් නොමැතිබව පෙනීයයි.

වර්තමානයේ ඇතිවී තිබෙන ඉන්ධන හිඟය, ඉන්ධන මිල ඉහළයෑම, වී මිල වැඩිවීම මේ සියලු කාරණා එකට මුසුව අති බහුතරයක් මහජනයාට තුන්වේලට එකවේලක්වත් බත්කන අවස්ථාව අහිමිවන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ අනුව ඉදිරි කාලයේදී රටේ සාමාන්‍ය ජනතාවට බතක් පිසින්නට සහල් කිලෝවක් මිලදී ගන්නට තබා කැඳ උගුරක් බොන්නට සහල් මිටක් මිලදී ගන්නටවත් හැකියාව ලැබේදැයි සැකසහිතය. මන්දයත් ඒ පමණටම සහල් මිල අසීමිත ලෙස ඉහළයෑම අනිවාර්යෙන්ම සිදුවනු ඒකාන්තය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment