ගැහැනිය වෙනස් විදිහට පෙන්වන්න මට ඕනෑ වුණා – චන්දෝලි හැදූ තුෂාරි අබේසේකර

352

හුඟක් අයට කැතැයි කියන මුහුණු මට හරි ලස්සනයි….

වරෙක ඇය ප්‍රවීණ ලේඛිකාවක්. තවත් වරෙක තිර පිටපත් රචිකාවියක් වගේම දේශිකාවක්. ඒ සියල්ල අභිබවමින් ඇය අපට මේ දිනවල මුණ ගැසෙන්නේ සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකාවක් විදිහටය. ඒ ඇය තිර රචනා කර අධ්‍යක්ෂණය කරනු ලබන මේ දිනවල සිරස නාලිකාවේ සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට විකාශනය කරනු ලබන චන්දෝලි හරහාය. චන්දෝලි නිසාම තුෂාරි අබේසේකරට අපි මේ ඉඩකඩ වෙන් කරන්න අදහස් කළා.

ගැහැනිය වෙනස් විදිහට පෙන්වන්න මට ඕනෑ වුණා - චන්දෝලි හැදූ තුෂාරි අබේසේකර
තුෂාරි අබේසේකර

චන්දෝලි ටෙලි නිර්මාණයට අවැසි වස්තු බීජය ඔබේ හිතට ගොඩනැඟුණේ කොහොමද?

මම ලියන කෙනෙක් හින්ද වස්තු බීජ ගණනාවක් හිතට එනවා. පසුගිය අවුරුදු දෙක තුනක කාල පරාසයක මම ටිකකක් නිදහසේ හිටියා. මේ අතර මට හිතුණා ටෙලිනාට්‍යයක් අධ්‍යයනය කරන්න. එතකොට මට දැනුණා දැන් තියෙන දෙයට වඩා වෙන ගමනක් හදාගෙන යන වැඩක් කරන්න ඕනෑ කියලා. දැන් තියෙන රැල්ලට නොයා තවත් අලුත් දෙයක් අලුත් විදිහට හිතන්න ඕනෑ කියලා කාලයක් තිස්සෙ මගේ හිතේ අදහසක් තිබුණා. ඒ වගේම මට හිතුණා ගැහැණිය කියන කෙනාව මීට වඩා වෙනස් විදිහට පෙන්වන්න ඕනෑ කියලා. ඒ නිසාම මම චන්දෝලි නිර්මාණය කළා.

දර්ශන තලය ගැනත් කතා කළ යුතුමයි?

මම දැන් හොයාගෙන තියෙන පසුබිමේ විශාල ගොවිපොළක් කරන මගේ මිතුරියක් ඉන්නවා. එයාගේ ගොවිපොළ බලන්න ගිය වෙලාවක තමයි මට ඔය වටපිටාව දකින්න ලැබුණේ. මට හිතුනා මේක වෙනස් විදිහට පෙන්වන්න පුළුවන් නේද කියලා. මම ඇස් දෙකෙන් දැකපු ලස්සන ඒකේ තියෙන ගුප්ත බව සහ වනවදුල මගේ වස්තු බීජය හරහා වෙනස්ම විදිහකට ගේන්න පුළුවන් කියලා මට හිතුණා. මම ඔවුන්ගෙත් උදව් ඇතුව තමයි ඔය කියන පසුබිම හැදුවේ. මම කවදත් කැමැතියි වෙනස් දෙයක් වෙනස් විදිහකට කරලා ඒක ජයග්‍රහණය කරා ගෙනියන්න. මම අවදානම කියන දෙයට අත තියනවා. ඒ අවදානම අරගෙන අභියෝගය දිනාගන්න වෙනස් විදිහකට වෙනස් කතාවක් අරගෙන ආවා.

ගැහැනිය වෙනස් විදිහට පෙන්වන්න මට ඕනෑ වුණා - චන්දෝලි හැදූ තුෂාරි අබේසේකර

කොහොමද ප්‍රතිචාර?

හුඟක් ප්‍රතිචාර ලැබෙනවා. මගේ වට්ස්ඇප් ගිණුම දවස ගානේ පිරෙනවා. පිටරටවල ඉන්න අය ගොඩක් කතා කරනවා. ලංකාවේ ඉන්න අයගේ හිතවත් විදේශිකයෝ මේක නරඹලා මේක උඹලගේ රටේ කෙනෙක්ද කරන්නේ” මේක මාරයිනේ කියලා කියන අයත් ඉන්නවා. ඉතින් මට හරි ආඩම්බරයි. ඉන්දියාවේ ආශ්‍රමවල කිහිපදෙනෙක්ම මගේ නිෂ්පාදිකාවට කතා කරලත් තිබුණා. වෙනස් ප්‍රතිචාර මට ලැබෙනවා. ඒ ඔක්කොටම වඩා මම සතුටු වෙනවා මම ඒ ගමට යනකොට ඒ ගමේ මිනිස්සු මට දක්වන ගෞරවය ගැන. ඒ ගමේ හරිම නිර්ව්‍යාජ මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ හැමෝගෙම සහාය මට ලැබෙනවා. ධර්මානුකූලව යන මේ රටට ගැළපෙන කලාත්මක කෘතියක් කියලා ඒ මිනිසුන්ට තේරිලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිචාරය මට හුඟක් වටිනවා.

ගැහැනිය වෙනස් විදිහට පෙන්වන්න මට ඕනෑ වුණා - චන්දෝලි හැදූ තුෂාරි අබේසේකර

රූගත කිරීම්වලදී මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද?

රූගත කිරීම්වලදී පුංචි දරුවෝ හසුරුවාගන්න එක හරි අමාරුයි. ඒ ගොල්ලෝ සෙල්ලම් වයසේ ඉන්න ළමයිනේ. ගල්තලා” කැලෑවල සර්පයෝ ගැවසෙන ස්ථානවල තමයි රූගත කිරීම් සිදු කරන්නේ. ඒ අතරින් ඇත්තටම වනවාසී හාමුදුරුවරු ඉන්න ආරණ්‍යයකින් තමයි මට උදව් කරන්නේ මේ රූගත කිරීම් සිදු කරන්න. සමහර වෙලාවට ඒ උත්තමයන්ට මගෙන් කරදර වෙන්න ඉඩ තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා මට පුදුම සහයෝගයක් දෙනවා මේ වැඩේ කරගෙන යන්න. හවස හතර වෙනකොට අලි එනවා. මම ඉතින් ඉක්මනට රූගත කිරීම් කරලා අර ගුප්ත වනාන්තරය ඇතුළෙන් එන්න ඕනෑ. රසට කෑම බීම හොයාගන්නත් අමාරුයි.

ගැහැනිය වෙනස් විදිහට පෙන්වන්න මට ඕනෑ වුණා - චන්දෝලි හැදූ තුෂාරි අබේසේකර

නිතර දකින්නේ නැති නළු නිළියන් පිරිසක් මේ සඳහා භාවිතා කරලා තියෙනවා?

මම කොහොමත් කලාත්මකයි කියන පැත්තේ ඉඳලා නිර්මාණ කරන කෙනෙක්. මේක ඇතුළෙත් මම මගේ අනන්‍යතාව රැකගන්න උපරිම උත්සාහ කරනවා. ඒ කියන්නේ මගේ නිවුණුකම සහ හික්මීම මේ හැම රූප රාමුවක් ඇතුළට යවන්න උත්සාහ කරනවා. හුඟක් අය කැතයි කියන මුහුණු මට හරි ලස්සනයි. මම ඔය දරිද්‍රතාවෙන් පෙළෙන මුහුණු වලට වඩා ගැමි මුහුණුවලට හරි ආසයි. මම ඒ මුහුණුවලට විශාල ආදරයක් වගේම කරුණාවක් දක්වනවා. ඒවා ලස්සනද නැතිද කියලා මේ සමාජයෙන් අහන්න මට ලොකු වුවමනාවක් තිබුණා. මේ කියන මුහුණුවල කිසියම් හෝ ආලේපයක් ගල්වල නෑ. හැබැයි ඒ මුහුණු ස්වාභාවිකව කැමරාවට පෙනී ඉන්නවා. ඒක මගේ කැමැත්ත.

ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේක වෛද්‍ය සේනක බිබිල්ගේ කතාවද කියලා?

සේනක බිබිලේ ගැන නිර්මාණයක් කරමු කියලා මීට හුඟක් කාලයකට පෙර නිෂ්පාදකවරයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් මගෙන් ඇහැව්වා. අවුරුදු දහයකට දොළහකට පෙර. ඒ වෙලාවේ මට පොත්පත් ටිකක් හම්බ වුණා. මම ඒවත් කියැව්වා. නමුත් ඒක එවෙලේ කරන්න හම්බ වුණේ නෑ. ඊට පස්සේ කාලයක් ගියත් සේනක බිබිලේ කියන චරිතය මගේ හිත ඇතුළේ තිබුණා. හැබැයි මම ඒකටම නෙමෙයි මේ නිර්මාණය කළේ. මට ඕනෑ වුණා ඒ වගේ වෛද්‍යවරයෙක් මුහුණදෙන ගැටලු පෙන්වන්න. වර්තමානයේ අපේ රටේ වෛද්‍යවරයා කියන කෙනා දරුණු අපරාධකාරයෙක් බවට පෙරළෙමින් ඉන්නවා. අන්න එතැනට ගහන්න මට ඕනෑ වුණා. වෛද්‍යවරයා විය යුත්තේ කොහොම කෙනෙක් ද කියන එක කියන්න මේ කතාව ඇතුළේ මම ලොකු ඉඩක් හඳලා දීලා තියෙනවා. ඒ ප්‍රොෆෙසර් මිස්සක ලොකු බණ්ඩාර කියන චරිතයත් එක්ක. ඇත්තටම මට තිබුණේ ඒ වුවමනාව තමයි. සේනක බිබිලේ මහත්තයාව අභිරහස් ලෙස මරණය හිමි වුණා. නමුත් මම පිට පළාතකට ගිහින් ඒ දොස්තරව ගලවා ගන්නවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment