ගැහැනු දරුවන් සේවයේ යෙදවීම අනාගතය අඳුරු කිරීමක්…!

690

අන්තර් ජාලය ඔස්සේ පහළොස් හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියත් සමග දම්වැලක පුරුකක් සේ තවත් ඒ ආකාර සිද්ධි මාලාවක් ගෙවීගිය තෙමසක කාලයේ දී අපට අසන්නට ලැබිණි. නාවලපිටියේ දී 13න් හැවිරිදි දැරියක් පියා ඇතුළු පුද්ගලයන් 10දෙනකු විසින් අපයෝජනයට ලක්කිරීමත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටිය දී පිළිස්සුම් තුවාල ලැබ මරණයට පත්වූ 16 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක්වීමත් සමාජ කැළඹීමක් ඇති කරවන්නට සමත් වූ සිදුවීම්ය. මෙම දරුවන් තිදෙනාගෙන් දෙදෙනකුම උඩරට වතුකම්කරු පවුල්වල සාමාජිකයන්ය. බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී පිළිස්සුම් තුවාල ලැබ මරණයට පත්වූ ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පසුගිය දිනවල වතුකරය පුරා උද්ඝෝෂණ පැවැත්වෙත් දී එතෙක් මර නින්දේ පසු වූ මහජන මුදලින් වැටුප් ලබන දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ඉන්නා නිලධාරීහු අවදි වන්නට වූහ.

එහි ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම පළාතේ දරුවන්ගේ ආරක්ෂාව හා අයිතීන් සුරක්ෂිත කිරීමට වැඩපිළිවෙළක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කටයුතු කළේ පොලිසිය, මානව හිමිකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂණ අධිකාරිය, කම්කරු දෙපාර්තුමේන්තුව, අධ්‍යාපන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් සම්බන්ධ කරගනිමිනි.

මධ්‍යම පළාත ගත්විට මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ළමා අපයෝජන හා මෙහෙකාර සේවය සඳහා ළමුන් යොමුවීම බහුල නුවරඑළිය දිස්ත්‍රික්කයේය. ඊට හේතුව එම දිස්ත්‍රික්කයේ වතුකම්කරු පවුල් වැඩිවීමය. වතුකම්කරු පවුල් අතර පවත්නා දරිද්‍රතාව, ඉහළ අධ්‍යාපනයක් නො තිබීම ඇතුළු කාරණා රැසක් මෙම තත්ත්වයට හේතුවී තිබේ. නුවඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පෙන්වා දෙන පරිදි එම දිස්ත්‍රික්කයේ ආනරක්ෂිත තත්ත්වයේ පසුවන දරුවන් සංඛ්‍යාව තුන්දහසකි. මේ අතර වැන්දඹු කාන්තාවන් හාරදහස් හයසියයක් දිස්ත්‍රික්කයේ සිටින බවත් ඔහු පවසයි. මෙම පිරිසෙන් සියයට 90ක් පමණ අයත්වන්නේ වතුකම්කරු පවුල්වලට ය. වතුකරයේ ළමුන් හා කාන්තාවන් විශාල පිරිසක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි නිවාසවල මෙහෙකාර සේවයේ යෙදෙන අතර ඔවුන් පිළිබඳ සංඛ්‍යා ලේඛන කිසිවක් බලධාරීන් සතුව නොමැති අතර ඒ සඳහා ඔවුන් යොමු කරන්නට ඉෂාලිනීගේ සිද්ධිය සමත්ව තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය. ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න රටේ නීති රීති අණපනත් ඕනෑ තරම් තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ගත්තොත් ග්‍රාමනිලධාරිවරයාගේ සිට විශාල නිලධාරීන් පිරිසක් ඉන්නවා. දෙපාර්තුමේන්තු මට්ටමින් ද නිලධාරීන් ඉන්නවා. නමුත් දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වීම පහව ගිහින් නැහැ. මධ්‍යම පළාත ගත්තොත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ බාල වයස්කරුවන් පාසල් හැරයෑම අනෙක් දිස්ත්‍රික්කවලට වඩා වැඩියි. මේ අය ගැන නිසි සොයා බැලීමක් කළ යුතුව තිබෙනවා. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ ගැන විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන් ජයවික්‍රම මහතා මෙසේ පැවසීය. මාධ්‍ය මගින් පසුගිය දිනවල වාර්තා කර තිබූ ආකාරයට මේ රටේ සෑම පැය දෙකකට ම වරක් දරුවෙක් කුමන හෝ ලිංගික හිංසනයකට ලක්වෙනවා. ළමා ආරක්ෂණය අතින් ලෝකයේ අනාරක්ෂිත ම රටවල් දහය තුළ අපි ඉන්න බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් යෝජනාවේ වගේ ම යුරෝපා සංගමයේ යෝජනාවේ ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ අර්බුදය විශේෂයෙන් හයිලයිට් කරලා තියෙනවා. ලංකාවේ ළමා අපචාර ගැන කතා කරනවිට මධ්‍යම පළාතට ඒක ගොඩක් වැදගත් වෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ළමා ජාවාරම බරපතළ විදිහට සිද්ධ වෙනවා. සෑම වත්කකම ඉන්නවා තැරව්කරුවන්. එක තැරව්කරුවෙක් යටතේ ඉන්නවා ළමයි දහ දෙනෙක් විතර. ඒ කණ්ඩායම දැන් 10කට දෙනවා. මාස තුනෙන් තුනට ඒ අයට එක එක තැනට මාරු කරනවා. නීති තිබුණත් ඒවා ශක්තිමත් මදි ද කියලා මට හිතෙනවා. අවුරුදු 05ක දැරියක් දූෂණය කළ පුද්ගලයකුට ඩුබායි රටේ දී ලබාදුන් දඬුවමක් මම සජීවීව දැක්කා. සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණත්වයක් එහේ තියෙන්නේ. අත් කකුල් බැඳලා හන්දියට ගෙනැත් මුණින් අතට දානවා. අවසානයේ ඇවිත් වෙඩි තියනකොට මිනිහා ඇත්තට ම මැරිලා ඉන්නේ. ඒ රටවල්වල ඒ වගේ නීති තිබෙන නිසා තමයි ළමා අපචාර වාර්තා වීම අඩු. මම කියන්නේ නැහැ අපේ රටේ ඒ නීති ක්‍රියාත්මක කරන්න ඕන කියලා. නමුත් දැඩි දඬුවම් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.

නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය මහතා මේ පිළිබඳව දැක්වූවේ මෙවන් අදහසකි…. ළමා අපචාර වැළැක්වීම සඳහා පොලිසිය සතුව විශේෂ කාර්යභාරයක් තිබෙනවා. මේ සම්බන්ධව කටයුතු කරන්න වගකීම් දරන්න තවත් ආයතන ගණනාවක් තිබෙනවා. රටේ ආන්දෝලනාත්මක සිදුවීමකින් පසුව හරි මේ සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කරන්න ඕන කියන සංකල්පයට පැමිණීම ඉතා හොඳයි. වතුවල ඉන්නවා කොළඹ හා වෙනත් තදාසන්න ප්‍රදේශවලට මෙහෙකාර සේවය සඳහා ළමයින් රැගෙන යන තැරව්කරුවන්. ග්‍රාමසේවා වසම් මට්ටමින් අනාරක්ෂිත දරුවන් සම්බන්ධ තොරතුරු ඒකාරාශි කිරීම වැදගත්. වතුකරයේ දරුවන් පාසල් ගමන අතර මඟ නතර කරනවා. ඒ සම්බන්ධවත් අපි විශාල අවධානයක් යොමු කළ යුතුයි. වතු නිවාසවල පවුල් කිහිපයක් ජීවත් වෙනවා. වතු ආශ්‍රිතව ළමා සුරැකුම් මධ්‍යස්ථාන තිබුණා. ඒවා හරියට ක්‍රියාත්මක වුණා. නමුත් දැන් ඒවා ඒ තත්ත්වයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ළමුන් අනාරක්ෂිත වීමට මේකත් බලපානවා. දෙමවුපියන් වත්තේ වැඩට ගියම ඒ අයගේ දරුවෝ නිවසේ ඉන්නේ තනියම. අතවරයට ලක්වූ දරුවන් සම්බන්ධ පරීක්ෂණවලින් හෙළිවූ කරුණු අනුව

ගොඩක් දරුවන් අපයෝජනයට ලක්ව තිබෙන්නේ තමන්ගේම පවුලේ බාප්පලා, මාමලා අතින්. පවුලේ අය අතින් මේක සිද්ධ වුණාම ඒවා වාර්තා නොවන අවස්ථාත් තිබෙනවා. සමහර දෙමවුපියෝ රැකියා නොකර ළමයි මෙහෙකාර සේවයට යවලා ඒ ලැබෙන මුදලින් ජීවත් වෙනවා. මේව ගැන අපි අවධානයෙන් සිටිය යුතුයි.

මධ්‍යම පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා මෙසේ පැවසුවේය…. කොවිඩ් වසංගතය එන්න කලින් නුවරඑළියේ කළ අවසාන සමීක්ෂණයේ දී පාසල් හැරගිය බාල වයස්කාර දරුවන් 995ක් පිළිබඳ තොරතුරු හෙළිවුණා. මේ අතර සිංහල ළමයි හිටියේ 50 දෙනෙක් පමණයි. අනිත් සියලුම ළමයි වතුකරයේ දරුවෝ. මේ ළමයි මල්මාලා දලා, පොත්පත් දීලා නැවත පාසල් ගත කළා. නමුත් එතැනින් සියයට පනහක් පමණ පාසල් ගමන ආයෙත් අත්හරිනවා. පාසල්වල පළමු පන්තියට ම ඇතුළත් නොකරන ළමයි පනස් දෙනකු පමණ පළාතේ වාර්තා වෙනවා. වැඩිම පිරිසක් පාසල් හැර යන්නේ පහේ පන්තියෙන් පසුවයි. දරිද්‍රතාව වැඩි නිසා ළමයි රැකියා කරන්න පෙළඹෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා දැක්වූයේ මෙවන් අදහසකි… වතුකරයේ ළමා අපයෝජන හා ළමා මෙහෙකාර සේවය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් ලෙස වතුකම්කරු ජනතාව අතර පවත්නා ආර්ථික ගැටලු හඳුනාගෙන තිබෙනවා. එක ලයින් කාමරයක් අම්මා, තාත්තා සමග පවුල් තුන හතරක් ජීවත් වෙනවා. උපයන ආදායමෙන් කොටසක් මත්පැන්වලට වැය කරන විශාල පිරිසක් ඉන්නවා. මේ නිසා ලබන ආදායම ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ. ළමයින් යමක් කමක් තේරෙනකොට බලන්නේ කීයක් හරි මුදලක් හොයා ගන්න. දෙමවුපියනුත් ඒකට අනුබල දෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. පවුලේ සාමාජිකයෙක්
රැකියාවකට ගියාම නිවසේ තදබදය අඩු වෙනවා වගේම පවුලට ආදායමක් ද ලැබෙනවා. මේ නිසා තමන්ගේ දරුවන් මෙහෙකාර සේවයට යොමු කරන්න දෙමවුපියන්ම ක්‍රියා කරන අවස්ථා තිබෙනවා. අපි මේ ගැටලු හඳුනාගෙන ප්‍රශ්නයේ මූලයට විසඳුම් දිය යුතුයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය කුමාරි තෝරදෙණිය මහත්මිය මෙසේ පැවසුවා ය… ලංකාවේ ගර්භිණීතාවට පත්වන සමස්ත කාන්තාවන් ගෙන් සියයට හතරයි දශම හතරක් ළමුන්. මධ්‍යම පළාත ගත්තොත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම අගය සියයට පහක් වී තිබෙනවා. ලංකාවේ ළමා ශ්‍රමිකයන් ලක්ෂයක පමණ පිරිසක් ඉන්නවා. නමුත් මේ සම්බන්ධ දත්ත බැලුවොත් ආයතන සතුව තිබෙන්නේ ඉතා අඩු අගයක. ලක්ෂ හතළිස්හතරක පමණ දරුවන් අතරින් ලක්ෂයක් ළමා ශ්‍රමිකයන් කියන එක සුළුපටු කාරණයක් නෙවෙයි. මේ අතරින් 39,000ක් පමණ අනතුරුදායක රැකියාවල නිරත වෙනවා. අපේ රටේ ළමයින්ගෙන් සියයට හතළිස් හයක් කුමන හෝ ආකාරයේ හිංසාවකට ලක්වෙනවා. ඒක මානසික වෙන්නත් පුළුවන් ශාරීරික වෙන්නනත් පුළුවන්. මේ අතරින් සියයට හයයි දශම නවයක් ලිංගික හිංසනයට ලක්වෙනවා. සල්ලි හොයන්න ළමයි යවන කුමන රැකියාවත් අනතුරුදායකයි. යමක් වෙන්න කලින් අපි ළමුන් බේරා ගැනීමයි වැදගත්. නමුත් අපි කරන්නේ යම් සිදුවීමක් වාර්තා වුණාට පස්සේ ඒ ගැන කතා කරන එකයි. එවිට පෙරහර ගොස් හමාරයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment