ගැහුවත් කරබාගෙන ඉන්න කියලා ජනපති පොලිසියට කිව්වා

512

HTML clipboard

උද්ඝෝෂණවලට සහභාගි වන අය පොලිසියට  ගැහුවත් කරබාගෙන ඉන්න කියලා තමයි ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන්නේ යැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා* පැවසීය.

එහිදී සරත් වීරසේකර මහතා මෙසේ ද කීය.

එදා ඔය ගුරුවරු පිරිස අත්අඩංගුවට ගත් පසුව මම අවසර දුන්නා නීතිඥයන් 04 දෙනකුට එදාම රෑ ගිහින් ඔවුන්ව හමුවන්න. ඒ වගේම ඒ අයට අවශ්‍ය ඕනෑ එපාකම් බලන්න කියලා, විශේෂයෙන්ම ගුරුවරු නිසා. ඕනෑම කෙනකුට ගේට්ටුව ළඟට ගිහින් අවශ්‍ය බඩු දුන්නොත් ඔවුන්ට එ්වා ලබා දෙන්න කියලත් කිව්වා. නමුත් නලින් බණ්ඩාර මන්තී‍්‍රතුමා මාධ්‍ය රඟපෑමක් කළා. ඒ අයට වරායට යන්න ඕනෑනම් අවසරයක්

ගන්න තිබුණා. බඩු දෙන්න ඕනෑ නම් ගේට්ටුවට දෙන්න තිබුණා. කාන්තාවෝ 17 ක් එතැන හිටියා. නමුත් නලින් බණ්ඩාර එතැනට එක බඩු මල්ලක් ගෙන ගිහින් තිබුණා, තම හිතවතියකට දෙන්න.

උද්ඝෝෂණයක් සිදු වෙද්දී, මේ උත්තරීතර සභාව ආරක්ෂා කරන්න ගිය අයට පොලිසියේ නිලධාරියකුට අද ඇඟිලි දෙකක් අහිමි වෙලා ඉන්නවා. නමුත් විපක්ෂය මේක හෙළා දැක්කේ නෑ. යහපාලන රජය කාලේ කඳුළු ගෑස් ගැහුවා. වතුර ගැහුවා. බැටන් ප‍්‍රහාර දුන්නා. රණවිරුවකුගේ ඇහැක් අහිමි කළා. නමුත් අපි එක ගුරුවරයකුටවත් අත තියලත් නෑ. ජනාධිපතිතුමා උපදෙස් දීල තියෙන්නේ අපිට ගැහුවත් කරබාගෙන ඉන්න කියලයි.

මන්ත‍්‍රී අනුර දිසානායක මහතා-

අමාත්‍යාංශ ප‍්‍රකාශ අමාත්‍යවරයාට කරන්න අයිතියක් තියෙනවා. හැබැයි දැන් දිගින් දිගටම සම්ප‍්‍රදායක් ඇති වෙලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් කියපු ප‍්‍රකාශයකට අමාත්‍යතුමා අමාත්‍යංශයේ ප‍්‍රකාශයක් හැටියට පිළිතුරු ලබා දෙනවා. ඔබතුමා කාටද ඇඳුම් අරන් ගියේ කියන එක නම් මට ඒ හැටි ප‍්‍රශ්නයක් නෙමේ. මට ප‍්‍රධාන ප‍්‍රශ්නෙ ගුරුවරුන් ගැන. ඒ ගුරුවරුන් විරෝධතාවයකට සහභාගි වෙලා ගෙදර යද්දී අත්අඩංගුවට ගන්නවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමැතියි ඒ විවිධ පොලිස් ස්ථානවලින් අත්අඩංගුවට ගන්න ගුරුවරුන් වරාය තුළ තිබෙන පොලිස් ස්ථානයට ගෙන යන්නෙ ඇයි කියලා. ඒක විශාල ප‍්‍රශ්නයක්. ඕනෑම තැනක ඒ පොලිස් ස්ථානයේ රඳවා ගන්න පුළුවන්, උද්ඝෝෂණය ඉවර වෙලා ගෙදර යන අය. ඔවුන් එහි සංවිධායකයොත් නෙමේ. ඔබතුමා හිතාමතාම ගුරුවරුන් අත්අංගුවට ගන්න කරපු උත්සාහයක් තමා පෙන්නුම් කරන්නේ. ඊයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන එතුමාව අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ ශිෂ්‍යයෙක්ව අත්අඩංගුවට ගන්නවා. නිල ඇඳුම් නැතුව නිකන් ටී ෂර්ට් එකක් ඇඳගත්ත පුද්ගලයෙක් බස් එකකට නැගලා චෙක් කර කර කට්ටිය අත්අඩංගුවට ගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ අයවත් අත්අඩංගුවට ගත්තේ එහෙමයි. ඒවා ඇත්තටම සුදු වෑන් වලින් ඇවිත් කරපු පැහැරගෙනයෑම්. අත්අඩංගුවට ගැනීමේදී ඔබතුමන්ලා අනුගමනය කරන ක‍්‍රමවේදය එක්ක ඕනෑම පාතාල කණ්ඩායමකටත් පුළුවන් එහෙම පැහැරගෙන යන්න. නිල ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ නෑ. කැලෑ පොලිසියක් ලෙස කටයුතු කරමින් සිටින්නේ. කෙනෙක් අත්අඩංගුවට

ගන්නවා නම් නිසි ක‍්‍රමවේද අනුගමනය කරන්න. ඔබතුමන් දකින්න ඇති සමහර වීඩියෝ. කථානායකතුමත් එකඟ නෑ මං හිතන්නෙ.

සරත් වීරසේකර මහතා – පොලිසිියට අපි බලපෑම් කරන්නේ නෑ. මේ වගේ ප‍්‍රශ්න තියෙනවා නම් නිල වශයෙන් අහන්න.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා – ඇත්ත වශයෙන්ම මමත්

ගියා නලීන් බණ්ඩාර මහතාත් සමඟ, ගුරුවරු ගුරුවරියන්, විදුහල්පතිවරුන් දැකබලා ගන්න. ඔබතුමා කෙසේ කීවත්, ඔවුන්ගේ නීතීඥවරුන්ට අවස්ථාව ලබා දුන්නා කියලා මාත් එක්ක ගිය නීතිඥවරුන්ට ඇතුළු වෙන්න ඉඩ දුන්නේ නෑ. ඒ වගේම් ඊයේ දවසේ ෆූටා ඒකේ සභාපති ප‍්‍රමුඛ බුද්ධි මණ්ඩපයේ මහාචාර්යතුමන්ලා ඇතුළු කථිකාචාර්යවරුන් බස් එකට නැගලා නැවත නුවර බලා යන මොහොතේ බස් එක අතරමඟ නතර කරලා බලහත්කාරයෙන් ඒ මහාචාර්යවරයෙක්ව අත්අඩංගුවට

ගන්න හදනවා. අපි මේ මර්දනකාරී, කලහාකාරී, හිංසාකාරී දේවල්වලට කිසිසේත්ම පක්ෂපාතී නෑ. බොහොම පැහැදිලියි මේ ක‍්‍රියාත්මක වෙන්නේ කැලෑ නීතියේ ආධිපත්‍යය බව.

සරත් වීරසේකර මහතා- ඔය කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගැනීම පිළිබඳව විපක්ෂ නායකතූමා හා මුජිබර් රහුමාන් මන්ත‍්‍රීතුමත් මට කතා කළා. මම නැවත කියනවා පොලිසියට අපි කිසිම බලපෑමක් කරලා නෑ. නමුත් මේ පිළිබඳව මම පොලිස්පතිතුමාගෙන් විමසුවා. අද ඒ වාර්තාව මට ලැබෙයි.

නලින් බණ්ඩාර මහතා – මමත් විපක්ෂ නායක තුමාත්, වරාය පොලිසියේ රඳවාගෙන සිටින ගුරු භවතුන් බලන්න උදේ ගියා. මේ අයව වරාය පොලිසියට ගෙනාවේ ඇයි කියන එක ප‍්‍රශ්නයක්. වරාය පොලිසිය රටේ කොටසක් කියලා ද දන්නේ නෑ එතැනට ගෙනගියේ. ඒත් එතැනට ඇතුළු වෙන්න දුන්නෙ නෑ. ඒ අයට මමත් ඇඳුම් අරගෙන ගියා. නමුත් අවස්ථාව දුන්නේ නෑ ඒවා දෙන්න.


අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment