ගෑස් අපට පෙන්නන ගෑස්… වරද කොතන වුණත් රටේ ජනතාව අමාරුවේ…

200

මේ රටේ ජනතාව අද දුක් කන්දක සිරවී සිටින්නේ යැයි යන්න කාටත් රහසක් නොවන අවිවාදිත කරුණකි. එවන් තත්ත්වයක් ඇති වීමට ප්‍රබල ලෙස බලපෑ එකම කරුණ වූයේ ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාත්මක වීමය. එය එසේ නොවේ යැයි කියන්නට සිහිබුද්ධිය ඇති කිසිවකුටත් කිසිදු හැකියාවක් නැත.

රටත් ජනතාවත් වෙනුවෙන් ක්‍රියාත්මක වීමේදී ආණ්ඩුවට වැරදුන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාද මේ වන විට පිළිගෙන ඇත. අවාසනාව වන්නේ සියල්ල විනාශයේ අවසානයටම ළඟාවීමෙන් පසු ජනාධිපතිවරයාට ඒ බව වැටහීමය.

මේ තත්ත්වය තුළ දිනෙන් දින ජනතාව ඉදිරියට එන අර්බුදවල නිමාවක්ද නැත. වැඩකරන ජනතාව ලද ආදායම ඇත්තේ තිබූ තැනමය. එහෙත් ඩොලරය ඉහළ යමින් රුපියල කඩා වැටෙද්දී බඩුමිල උඩු ගුවනේ පාවෙන්නේය. බහුතරයකට රොටියක් කා කහට උගුරක්වත් බීමට නොහැකි වන තැනට සියලු දේ සිදුවී ඇත.

  • ඉහළ යන අර්බුදය

මේ අතරේ දැන් ජනතාව මුහුණ දී සිටින මීළඟ බරපතළම අර්බුදය බවට පත්ව ඇත්තේ දරාගත නොහැකි අයුරින් ගෑස් මිල ඉහළ යෑමය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගිහින්.. රුපියල අවප්‍රමාණය වෙලා.. සමාගම්වලට පාඩුයි.. ආදී වශයෙන් දැන් මේ තත්ත්වය පිළිබඳව ඇතැම් ලොකු චරිතවලට විවිධ කතා කියන්නට පුළුවන.

එහෙත් අපට කියන්නට තිබෙන්නේ නිවැරදි නොවන රාජ්‍ය පාලනයක් හමුවේ දුකට පත්ව විඳවමින් සිටින ජනතාවට ඒ කිසිත් අදාළම නැතැයි කියාය. මන්ද මෙසේ ගෑස් මිල ඉහළ යෑමේදී රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය තවත් තුන්හතර ගුණයකින් ඉහළ යන නිසාය.

එසේ අර්බුදය ඉහළට එසවෙද්දී එයට මුහුණදීමට සිදුවන්නේ අද දවසේ දහසක් ගැටලු මැද හොඳටෝම විඳවමින් සිටින දුක් විඳින ජනතාවටය. විවිධ ජාවාරම්කාරයන්ට, රටට කරන්නට යැයි පවසා දේශපාලනයට පිවිසී නූපන් පරම්පරාවන්ට පවා හරිහම්බ කරගත් දේශපාලන කොමිස් කාක්කන්ට ආදී වශයෙන් ඇතැමුන්ට නම් මේ තත්ත්වය ගැටලුවක් නොවිය හැකිය. එහෙත් ගෑස් මිල ඉහළ යෑමේදී කුසගින්නට කෑ පාන් කෑල්ලේ සිට සියල්ලේ මිල වැඩි වෙද්දී ඒ දුක දැඩිව දැනෙන්නේ අති බහුතරයක් වන දුප්පතුන්ට සහ මැද පන්තියටය.

  • ගෑස් කතාවේ ආරම්භය

ගෑස් යන්න රටේ තවත් එක් අර්බුදයක් බවට පත්වෙමින් වත්මන් තත්ත්වය නිර්මාණය වූයේ කෙසේ කොතැනක සිටද? එය ඉකුත් 2021 වසරේ අප්‍රේල් මාසය දක්වා ඈතට විහිදී යන්නකි.

පැහැදිලිවම කිවහොත් මෙරට කොරෝනා වසංගතයේ තෙවැනි රැල්ල හෙවත් 2021 අලුත් අවුරුදු පොකුරත් සමඟම ගෑස් අර්බුදයද මුලින්ම රට ඉදිරියේ මතුවන්නට විය. කොරෝනා නිසා ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් ගෑස් මිල ඉහළ දැමිය යුතු බවට ගෑස් සමාගම් ප්‍රකාශ කිරීම එකී ආරම්භය ලෙස පෙන්වාදිය හැකිය.

මෙහිදී මෙරටට ගෑස් සැපයුම සිදු කරන සමාගම් ද්විත්වයම කියා සිටියේ ගෑස් අලෙවියේදී එක් ගෘහස්ත සිලින්ඩරයකින් රුපියල් 700 ක පමණ පාඩුවක් ලැබීමට සිදුව ඇති බවකි. කෙසේ වෙතත් සමාගම්වලට අවශ්‍ය පරිදි මිල ඉහළ දැමීමට රජය මුලදී ඉඩක් ලබා නොදුන්නද පසුව ඒ සදඟා අවසර දෙනු ලැබීය.

ඒ අනුව දෙවරකදී ගෑස් මිල ඉහළ දැමීමට ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කටයුතු කළේය. ඒ අන්දමට ගෑස් සමාගම් ලෝක වෙළෙඳපොළ රටට පෙන්වා දෙවැනි වරට ගෑස් මිල ඉහළ දමනු ලැබුවේ ඉකුත් ඔක්තෝබරයේදීය.

එහිදී එතෙක් රුපියල් 1493 ක මිකට අලෙවි කෙරුණු ලිට්රෝ සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමමින් රුපියල් 2750 දක්වා වැඩි කිරීමට එම සමාගම පියවර ගනු ලැබූ අතර ඒ සමඟම ලාෆ් සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 2840 ක් දක්වා ඉහළ නැංවීය.

කොරෝනා වසංගතය හමුවේ රටේ ජනතාව හොඳටෝම හෙම්බත්ව සිටියදී මෙසේ ගෑස් මිල ඉහළ යෑමද මෙහිදී සුවිශේෂීය. මෙහිදී අදාළ ගෑස් සමාගම් දෙකම කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම නිසා මිල වැඩි කිරීමට සිදුවූ බවය.

  • රටම සූරාකන ගෑස් මාෆියාව
ගෑස් අපට පෙන්නන ගෑස්… වරද කොතන වුණත් රටේ ජනතාව අමාරුවේ…

හැමදාමත් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල තීරණය කෙරුණේ මසකට වරක් සංශෝධනය කරනු ලබන සෞදි අරාබියේ ඇරැම්කෝ සමගමේ මිල දර්ශකවලට අනුවය. එහෙත් එම සමාගමේ මිල දර්ශක අනුව ගෑස් මිල පහත වැටුණද කිසිදු කලෙක ශ්‍රී ලංකාවේ ගෑස් මිල පහළ ගිය බවක් අප කිසිවකුත් අසා දැක තිබේද?

මේ රටේ එවන් දේ සිදු වන්නේ නැත. එසේ මිල අඩු කිරීම දේශපාලනඥයන්ගේ ඡන්ද තුරුම්පු බවට පත්ව තිබෙන්නකි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩු වුවද ඒ සහන මේ රටේ ජනතාවට ලැබුණා නම් ලැබුණේ ඡන්දයක් ආසන්නයේදීය. එය ශ්‍රී ලංකාවේ ක්‍රමය ය.

මේ අන්දමට ලිට්රෝ සමාගම සහ ලාෆ් සමාගම රුපියල් 2800 ක සීමාවට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ගෙන එනු ලැබුවේ රට තුළ මාරාන්තික ගෑස් පිපිරීම් මාලාවකුත් සිදු වූ පසුවය. එකී ගෑස් පිපිරීම් හමුවේ ගෑස් යන්න රටේ ප්‍රධාන මාතෘකාවක් බවටද ඒ දිනවල පත්ව තිබුණු අතර මෙරට ඉතිහාසයේ මුල්වරට එවකට ලිට්රෝ සමාගමේ සභපතිවරයා ලෙස කටයුතු කළ තෙසාර ජයසිංහ මහතා රට තුළ ක්‍රියාත්මක ගෑස් මාෆියාවක සුලමුල රටට අනාවරණය කරනු එහිදීය.

දිගින් දිගටම සිදුවූ පිපිරීම් නිසා ගෑස් යන්න රටේ ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙද්දී තමන් වෙත එල්ල වූ පීඩනය හමුවේ ඇතැම් විට තෙසාර ජයසිංහ මහතා එකී හෙළිදරව්ව සිදු කළා විය හැකිය. එසේම එකී මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක වීම පැහැදිලි අරමුණක් තරුණ සභාපතිවරයකු ලෙස ඔහු තුළ තිබුණාද විය හැකිය.

ලෝක වෙළෙඳ පොළෙන් අඩු මිලට ගෑස් ලබා ගැනීමට අවස්ථාව තිබියදී එක්තරා සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් වැඩි මිලට ගෑස් ලබාගෙන රුපියල් කෝටි දහසක (කෝටි 1000ක්) පමණ මුදලක් ගසා කන බව තෙසාර ජයසිංහ මහතා කළ එකී අනාවරණය විය.

  • ආණ්ඩුවට වැරදුණු හැටි

රටම උකසට තබමින් සංවිධානත්මක පිරිසක් මෙවැනි ජාවාරමක් සිදු කරන බව තමන් විසින්ම පත් කරනු ලැබූ සභාපතිවරයකු අනාවරණය කරද්දී ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවට එදා කිසිදු උනන්දුවක් තිබුණේ නැත. ඇතැමුන් නම් කියන්නේ ජනාධිපතිවරයා එය නතර කළ බවය. එහෙත් එසේ කළේ නම් එය රහසේ කළේ ඇයි?

ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා මෙසේ මුනිවත රකිද්දී තෙෂාර මහතා හෙළිදරව්ව එදා මතුවූ තැනම යටපත්වී ගියේය. එසේ වූයේ ඇයි? එකී මාෆියාව තවමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නක්ද? අද මේ රටේ විඳවමින් සිටින ජනතාවට රුපියල් පන්දහසකට ආසන්න මුදලක් ගෙවා ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට සිදුව ඇත්තේ ඒ මාෆියාව නිසාද?

මේවා අදටත් උත්තර නැති ප්‍රශ්න බවට පත්ව ඇත. මාෆියාවක් පිළිබඳ අනාවරණය කරනු ලැබුවද එකී සංවිධානාත්මක තක්කඩි පිරිස කවුරුන්දැයි හෙළි කිරීමට තෙසාර ජයසිංහ මහතා කටයුතු කළේ නැත. එසේ වූයේ මේ රටේ මජර දේශපාලනයේ පාදඩ හස්තයන් එකී මාෆියාව තුළට කාවැදී තිබුණු නිසාද විය හැකිය.

  • ගෑස් සහ මිනිස්සු

අද දවසේ ගෝඨා ගෝ හෝම් කියමින් රටේ ජනතාව පාරට පැමිණ සිටින්නේ මේ අන්දමට විවිධ අකාරයෙන් දිගින් දිගටම විඳවන්නට සිදුවීම හමුවේය. එය දැන් මහින්ද ගෝ හෝම් කියන තැන දක්වාම දුරදිග ගොස් අවසන්ය. අද රුපියල් 4860 දී ගෑස් සිලින්ඩරයක් ගනින් යැයි ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවේම නොහැකියාව නිසා අනේක විධ දුක් කන්දරාවක් විඳින්නට සිදුවීම හමුවේ මෙසේ රජයට එරෙහිව වීදි බැස සිටින ජනතාවටය. කතා දෙකක් නැත. කවුරු කෙසේ කීවත් අද මේ රටේ අති බහුතරයක් ජනතාවට නිවසේ බත පිසගෙන දරුපවුල සමඟ කුස පුරවා ගැනීම වෙනුවෙන් රුපියල් පන්දහසක් දී ගෑස් මිලදී ගැනීමට කිසිසේත්ම හැකියාවක් නැත.

සියලු දෙනා ඒ තරමටම දුප්පතුන් වී අවසන්ව ඇත. දවසේ කුලියට රැකියාවක් කළ මිනිසාගේ පටන් මාසයක පඩිපත වෙනුවෙන් රැකියාවේ යෙදුණු මධ්‍යම පාන්තිකයා දක්වා සියලු දෙනාටම අත්වී තිබෙන්නේ ඒ ඉරණමය. මේ අතර සිටින්නෝ රටේ ජනතාවගෙන් අතිබහුතරයක් වන්නාහ. මේ අන්දමට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ඇති නොහැකියාව හමුවේ ඔවුහු වෙනත් විකල්පයක් වෙත යායුතු වන්නාහ. එහිදී විවිධ සමාජ ස්ථරයන් අනුව සියලු දෙනා මුහුණ දෙන ගැටලු අනන්තය. අප්‍රමාණය. මේ රටේ දේශපාලනඥයන්ට හැමදාමත් නොතේරුණේද එවැනි ජනතා ගැටලුය.

  • පිළිතුරක් නැති ප්‍රශ්නය

කොළඹ ඇතුළු නාගරික පරිසයේ ජීවත් වන ජනතාව ගතහොත් බොහෝ දෙනකුට ගෑස් වෙනුවට දර ලිපක් දල්වා ගැනීමට නොහැකිය. තට්ටු හෝ පේළි නිවාසවල මෙන්ම අඩු ඉඩකඩක් සහිත ස්ථානවල ජීවත් වන ඔවුන්ට එසේ දර ලිප් දැල්වීමට නොහැකිය. භූමිතෙල් ලිපක් දල්වා නිවසේ ආහාර ටික පිස ගැනීමේ අවස්ථාවද අද ඔවුන්ට අහිමිවී ඇත. එයට හේතු වී තිබෙන්නේ ඉන්ධන සැපයීමේ ගැටලු නිසා පෝළිම් ගානේ රස්තියාදු වීමට සිදුවීමය.

විදුලියෙන් අහර ටික පිස ගැනීමටද ඔවුන්ට නොහැකිය. එසේ කළහොත් මාසය අවසානයේ දරාගත නොහැකි විදුලි බිලකට හිමිකම් කීමට සියලු දෙනාට සිදුවන්නේය. එම තත්ත්වය තුළ ඔවුන්ට ඇති ඊළඟ විකල්පය වන්නේ ආපන ශාලාවකින් අහර ලබා ගැනීමය.

එහෙත් ගෑස් මිල ඉහළ යෑම හමුවේ හෙට දිනයේ ආපන ශාලාවල බත් පාර්සලයක මිලද දුණු වේගයෙන් ඉහළට යනු ඇත. එසේ නම් ඔවුන් කළ යුත්තේ කුමක්ද? එය පිළිතුරක් නැති ගැටලුවක් වී ඇත. ප්‍රශ්නයට හේතුව ගෑස් මිලය.

අර්ධ නාගරික ප්‍රදේශයක වුවද තත්ත්වය මෙසේමය. දර ලිපක් දැල්වීමට ඇති ඉඩකඩ සීමිතය. වෙනත් විකල්ප පිළිබඳ කල්පනා කිරීමේදීද ඇතිවන දුෂ්කරතා බොහෝය. අද අපේ මුදලාලිලා ඩොලරයට සාපේක්‍ෂව දර මිටියක මිලද ඉහළ දමා තිබීම සියලු දෙනා මුහුණ දී ඇති තවත් ගැටලුවක් වී ඇත.

ගම්බද ජනතාව ගත් කල දර ලිපක් දල්වා ගැනීමේ හැකියාවක් පැවතියද යම් ආකාරයකින් වර්ෂා තත්ත්වයක් ඇති වුවහොත් නිවසේ අහර ටික පිස ගැනීම වෙනුවෙන් බොහෝ දුෂ්කරතා විඳීමට ඔවුනටද සිදුවන්නේය. මේ අන්දමට ගෑස් මිල ඉහළ දැමීම හමුවේ හෙට දිනයේ පාන් ගෙඩියේ සිට අනෙකුත් සියලු ආහාරවල මිලද ඉහළ යනු ඇත. මෙවන් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ මේ රටේ ජනතාව කළ වරදක් නිසාද? නැත. වරද ඇත්තේ පාලකයන්ගේය. දේශපාලනඥයන්ගේය. රටේ භාණ්ඩාගාරය හිඳෙන තැනට කටයුතු කළ ආණ්ඩුවක් නිසා සියලු දෙනාට මේ දුක අත්වී ඇත. අද ඇතැමුන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තත්ත්වය සමනය වන තෙක් මඳක් ඉවසා සිටින්නැයි කියාය.

එහෙත් දේශපාලන හොරුන්ගේ, කොමිස් කාක්කන්ගේ, මාෆියා තක්කඩින්ගේ ගසා කෑම් හමුවේ රට ඇද වැටී දුක දෝරේ ගලද්දී මේ රටේ ජනතාව තව කොතෙක් කලක් අනුන්ගේ පව් කරට ගෙන මාරුවෙන් මාරුවට කල්වාරිය තරණය කළ යුතුද?

අද රජයට එරෙහිව වීදි බැස සිටින සමස්ත ජනතාව එක හඬින් දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ ප්‍රශ්නයට අදාළ පැහැදිලි පිළිතුරය.

ගෑස් අපට පෙන්නන ගෑස්… වරද කොතන වුණත් රටේ ජනතාව අමාරුවේ…

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment