ගෑස් අර්බුදයක් ඇතිවූයේ බැසිල් ගත් තීරණයකින්!

281

ප්‍රමාණවත් ඩොලර් නැතිකම නිසා ඉන්ධන අර්බුදය ඇතිවුවත් ගෑස් අර්බුදය රටේ ඇතිවූයේ බැසිල් රාජපක්‍ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පත්වී ගත් තීරණයක් නිසා යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (07 දා) පැවසීය.

රටේ ජනතාව ඉන්ධන, ගෑස් ඇතුළු අර්බුද රැසකින් පෙළෙන බවත්, මෙයින් ගෑස් අර්බුදය ඇතිවූයේ බලධාරීන් ගත් නොගැළපෙන තීන්දු තීරණ නිසා බවත් ජයගොඩ මහතා ඊයේ (07 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජයගොඩ මහතා මෙසේද කීය.

රටට අවශ්‍ය ගෑස් සපයා ගැනීම සඳහා ඕමාන් සමාගමක් සමග 2020 පෙබරවාරි 28 සිට 2023 පෙබරවාරි 28 දක්වා ලිට්‍රෝ ගිවිසුම්ගතව සිටියා. නමුත් 2021 ඔක්තෝබර් 06 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා වැඩ භාරගෙන පෙබරවාරි 28 වැනිදා එම ගිවිසුම අත්හිටුවනු ලැබුවා.

ගිවිසුම්ගතව සිටි ඕමාන් ඕ. කේ. ටේ්‍රඩින් සමාගම මේ සම්බන්ධයෙන් එවක සිටි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසීමක් කර තිබෙනවා. එම ලිපිය මා සතුව පවතිනවා. එහිදී ඇවන්ගාඩ් සමාගමට අනුබද්ධ සමාගමක් මගින් ගෑස් ලබාගන්න උත්සාහයක් ගෙන තිබුණා. නමුත් පසුව මේ සමාගම් දෙකෙන්ම ගෑස් ගන්න කටයුතු කර තිබුණේ නැහැ.

එම වකවානුවේ තමයි ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති ටෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ අපිව බිත්තියට හේත්තු කරලා වැඩි මිලට ගෑස් ගන්න උත්සාහ කරනවා කියලා. එසේ ගෑස් මිලදී ගතහොත් රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. මෙසේ ඔහු කරුණු හෙළි කළත් ජනාධිපතිවරයා එසේ කරන්නේ කවුරුන්ද යන්න සොයා බැලීමක් සිදුකළේ නැහැ. එසේ සිදුකළා නම් රටට ගෑස් ලබාගන්න මෙච්චර කල් බලා සිටින්න සිදුවන්නේ නැහැ. එම නිසා රටේ ගෑස් අර්බුදය උග්‍රවීමට ජනාධිපතිවරයාද වගකිව යුතුයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment