ගෑස් අර්බූදය ජයග්‍රහණය කරමු!

107

LPG සැපයුමේ ගැටලුව හමුවේ විසඳුම් සෙවීමට සහ අර්බුදය අගනා අවස්ථාවක් බවට පත් කිරීමට පියවර ගත් නිර්භීත පුද්ගලයන් සමූහයක් තවමත් ශ්‍රී ලංකාව සතුව ඇත. ඔවුන්ගේ ආයාසය දැනටමත් පීඩා විඳිමින් සිටින ජනතාවට යම් සහනයක් ලබාදෙන බව එම විකල්ප විසඳුම් ලෙස නොයෙක් මාදිලියේ උදුන් හඳුන්වා දුන් නිෂ්පාදකයන්ට සැපයිය හැකි මට්ටමටත් වඩා ඉහළ ඇනවුම් ලැබීමෙන් පෙනීයයි.

ගෑස් අර්බූදය ජයග්‍රහණය කරමු!

මෙම පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාරිකයන්, ගෘහාශ්‍රිත අවශ්‍යතා සඳහා මෙන්ම ආපනශාලා වැනි කුඩා වාණිජ ආයතන සඳහා දර අඟුරු සහ දර භාවිතා කිරීම සඳහා නොයෙක් මාදිලියේ උදුන් නිපදවා ඇත. ඔවුන්ගේ උත්සාහයට ජාතියේ කෘතඥතාව හිමි විය යුතුය.

 ඒ අතරම මෙම විසඳුමේ තිරසාරත්වයට අත්‍යවශ්‍ය අංගයක් වන නිර්දේශිත ඉන්ධන සැපයුම් ජාලය මේ දක්වා සාර්ථකව මතුවී නොවීම සැලකිය යුතු ප්‍රශ්නයකි.

 එමෙන්ම කුඩා ව්‍යාපාරිකයන් සහ ආපන ශාලා යනාදියට හඳුන්වාදුන් උදුන් සඳහා දර භාවිතය නිර්දේශ කර ඇති බැවින් එම සැපයුම් ජාලය යම්තරමකට ස්ථාපිතව දියුණු වී ඇති බව පෙනේ.

 එහෙත් ගෘහාශ්‍රිත අවශ්‍යතා සඳහා හඳුන්වා දී ඇති උදුන් වැඩි ගණනක් සඳහා පොල්කටු අඟුරු නිර්දේශය එම උදුන් සාර්ථක ලෙස හා තිරසාර ලෙස භාවිතයට පාරිභෝගිකයන්ට බාධාවක් විය හැකිය.

 එයට ප්‍රධානම හේතුව වන්නේ පොල්කටු අඟුරු සැපයුම දැනටමත් අවශ්‍යතාවට හා ඉල්ලුමට සපුරාලිය හැකි තත්ත්වයක නොතිබීමයි. එමෙන්ම එම සැපයුම් මට්ටම පහත දක්වන නොවැළැක්විය හැකි හා ස්වාභාවික සාධක නිසා ඉහළ නැංවීමේද හැකියාවක් නොමැත.

 ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය උපරිම ඵලදාවක් ඇති වසරක පවා වසරකට පොල් ගෙඩි 3,000,000,000  (බිලියන තුන) නොයික්මවයි. පසුගිය වසර කිහිපයේ දත්ත අනුව එය බිලියන 2.8 ක සාමාන්‍යයක් පෙන්වයි.

 පොල් කටු අඟුරු සඳහා ප්‍රධාන ඉල්ලුම්කරුවන සක්‍රීය කාබන් කර්මාන්ත දත්ත අනුව මෙම පොල්කටු සියල්ලම අඟුරු බවට පත්කළ ද සැපයිය හැකි පොල්කටු අඟුරු ප්‍රමාණය වසරකට ටොන් 120,000 නොයික්මවේ. එම පොල්කටු සියල්ලම අඟුරු බවට පත්කිරීම ප්‍රායෝගික කරුණක් නොවන බැවින් බලාපොරොත්තු විය හැකි ඇති උපරිම සැපයුම දළ වශයෙන් වසරකට ටොන් 100,000 වනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

 එහෙත් වත්මන් ඉල්ලුම කෙසේද? දැනටමත් සක්‍රීය කාබන් කම්හල් වසරකට පොල්කටු අඟුරු ටොන් 95,000 පමණ මිලදී ගනිති. ඔවුන්ගේ ස්ථාපිත නිෂ්පාදන ධාරිතාවට එම ප්‍රමාණය නොසෑහෙන බැවින්, දැනටත් ලංකාවට පොල්කටු අඟුරු ටොන් 20,000 පමණ, වටිනා විදේශ විනිමය වියදම් කොට ආනයනය කරනු ලැබේ.

 මෙවැනි තත්ත්වයක් යටතේ එම සීමිත ප්‍රභවය සඳහා තවත් ඉල්ලුමක් ඉදිරිපත්වීම ඉතාමත් ගැටලුසහගත විය හැකිය

 සැපයුම ඉක්මවා යන ඉල්ලුමක් ඇති විට මිල ඉහළ යෑම නියතය

 සක්‍රීය කාබන් යනු රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයන ඉතාමත වටිනා කර්මාන්තයකි.

 එමෙන්ම පොල් කට්ටේ සිට සක්‍රීය කාබන් දක්වා අගය වැඩිවීම 1:25 ඉක්මවයි.

 එබැවින් සාමාන්‍ය වශයෙන් ගෘහස්ථ උදුන් 100,000 සඳහා පොල්කටු අඟුරු යොදාගත හොත් ජාතියට අහිමි විය හැකි විදේශ විනිමය මසකට ඩොලර් 1,250,000 ඉක්මවනු ඇත.

 එබැවින් මෙම විප්ලවය ආරම්භ කිරීමට විශාල දායකත්වයක් දෙන පොල්කටු අඟුරු සම්පත තව දුරටත් වෙළෙඳපොළට ලැබීම සහ භාවිතය යම්කිසි මට්ටමකින් විය යුතුය. එහෙත් ඉහත සඳහන් සෘණාත්මක සාධක සැලකිය යුතු මට්ටමකට වර්ධනය වීමට පෙර සාධනීය ක්‍රියාමාර්ගයක් අත්‍යවශ්‍ය වේ.

 මෙවැනි වාතාවරණයක ගෑස් උගුලෙන් මිදීමට මෙම උත්සාහවන්ත හා නවෝත්පාදක නිෂ්පාදකයන්ගේ නිපැයුම් වඩාත් පුළුල් ලෙස මෙම අර්බුධයට විසඳුමක් කරගන්නේ කෙසේද ?

 වාසනාවකට එම විසඳුම ද අපට තිබේ

 එනම් එම උදුන් සියල්ල සඳහා ද දැව අඟුරු භාවිත කිරීමයි. ජීව බල ශක්ති සංගමය විසින් දැනට වෙළෙඳපොළේ ඇති සියලුම මාදිලියේ උදුන්, දැව අඟුරු යොදා සාර්ථකව අත්හදා බලා ඇත. එමෙන්ම මේ වනවිට එම වෙනස අත්හදා බැලීමට අප විසින් ආරාධනය කළ සියලුම උදුන් නිෂ්පාදකයන් එම වෙනස සතුටින් අනුමත කර ඇත.

 එබැවින් දැනට වහ වහා කළයුතු ප්‍රයත්නය වන්නේ ඉල්ලුමට සරිලන මට්ටමට දැව අඟුරු නිෂ්පාදනයයි. මෙය ඉතා ව්‍යාප්ත වූ මෙන්ම සෑම මට්ටමේම ව්‍යවසායකයන් මෙන්ම තනි තනි පුද්ගලයන්ට පවා දායක වී ඉහළ ආදායමක් ලබා ගනිමින් ජාතික සේවයක්ද කළ හැකි අවස්ථාවකි.

 මේ අතර මීට වසර 25 කට පමණ පෙර ලංකාවට TIMCO දැව අඟුරු හඳුන්වාදුන් රාජ්‍ය දැව සංස්ථාව නැවතත් එම ජාතික මෙහෙවරට අවතීර්ණවීම ඉතාමත් සතුටට කරුණකි. එසේම මෙය විශාල පරිමාණයෙන් වුවද ක්‍රියාත්මක වී ඉතාමත් ලාභදායී ව්‍යාපාරික අවස්ථාවක් බව පහත දත්තවලින් පෙනීයයි.

 තිරසාර ලෙස දැව අඟුරු සහ සකස් කළ දැව ඉන්ධන සැපයුම් ජාලයක්

 දැනට ආනයනික LPG ගෑස් ප්‍රමාණයෙන් 25% විස්තාපනය පිණිස අවශ්‍ය දේශීය ඉන්ධන සැපයුම

 අවැසි ගෘහස්ථ උදුන් ගණන – වසරකට උදුන් 1,000,000 බැගින්

 ඒ සඳහා අවැසි දැව අඟුරු වසරකට ටොන් 270,000

 නාගරික නිවෙස් සඳහා වියළා සකස්කළ දැව වසරකට ටොන් 150,000

 මේ සඳහා අවශ්‍ය දැනුම හා උපදෙස් නොමිලේ ලබා දීමට අප සංගමය ඉදිරිපත්වී ඇත. ඕනෑම කෙනකුට අපගේ www.bioenergysrilanka.lk  මගින් එම උපදෙස් ලබාගත හැකි අතර වැඩි විස්තර සඳහා අප සංගමය ඇමතිය හැකිය. විද්‍යුත් ලිපිනය [email protected] එබැවින් එම අවස්ථාවෙන් ඵල  ලබාගන්නා අතර දැවෙන ජාතික ප්‍රශ්නයක් විසඳීමට ද ඉදිරිපත් වීමට ඔබ සැමට කරන ආරාධනයයි.

 ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ
 ශ්‍රී ලංකා ජීව බලශක්ති සංගමය.

advertistmentadvertistment
advertistmentadvertistment