ගෑස් කරපු අපරාධයක්

191

අලූතින් ගෙනා ගෑස් එක භයානක බව මගේ බිරිඳට වැටහී ගියේය.

බිරිඳගේ අදහස මමත් අනුගමනය කළෙමි.

කිරිබත්ගොඩ සමුපකාර නිවාස යෝජනාක‍්‍රම පාරේ පිහිටා තිබුණු ‘පේ‍්‍රමදාස කඬේ‘ අයිනේ පවත්වාගෙන යන ගෑස් කඬේ අයිතිකරුගෙන් ආදරයෙන් කරුණාවෙන් මිලදී ගත් ගෑස් සිලින්ඩරය කුස්සියේ පිටුපස පොහොර ගෝනියකින් අප වසා දැමුවේ එය කාල බෝම්බයක් බවට අනුමාන කිරීමෙනි.

ගෑස්කාරයින් අතීතයේ සිටම අපට ගෑස් දැමුවෝය.

ගෑස් කරපු අපරාධයක්

ගෑස්කාරයින් සමග මගේ බිරිඳ පමණක් නොව කාන්තාවෝ බොහෝ දෙනෙක් ජන්මන්ත වෛරයෙන් පසුවෙති.

ගෑස් අනතුරු හැමදාම අහල අහලා එපාවෙලා.

ගෑස්කාරයින් ගොතන පචවලට අපේ මිනිස්සුත් රැවටෙනවා. නිල්පාට ලේබල් වෙනස් කරල රතු ලේබල් දැම්මා. ඒ පාටත් ඒ වගේමයි.

ගෑස්කාරයෝ මීයා පිම්බාසේ කතා නැහැ. මේ මිනිස්සුන්ගේ පම්පෝරි නවත්වලා ඔයා ඉක්මනට කුස්සිය මිදුලේ ලිපක් හදන්න ඕනෑ යැයි බිරිඳගෙන් නියෝගයකි.

මේ හදිස්සියේ බිරිඳ දුන් නියෝගය අනුව මම අල්ලපු වත්තට පැන්නේ ඒ අයගේ හදන්න ගෙනා ගඩොල්වලින් ලිග් ගල් තුනක් සොයා ගැනීමටය. ඒ කටයුත්ත ලේසි වූයේ නැත්තේ එහි ගඩොල් සියල්ල ඉවර වී තිබූ නිසාය.

ගඩොල් ගල් කෙසේ වෙතත් කෝටු කෑලි පරඬැල් කොළ ගෙනල්ලා තාලෙකට ඔතලා ලිපට අවශ්‍ය පරිදි සකස් කළේය.

මේ හදිස්සියේ ගඩොල් ගල් තුනක් සොයා ගැනීම ප‍්‍රශ්නයක්. අල්ලපු වත්තේ ශාන්තිලාගෙන් ගඩොල් තුනක් ඉල්ලා ගත්තේ ඒවා ආපසු ලබාදීමේ පොරොන්දුව පරිදිය.

මම මෙන්ම අසල්වැසියන් බොහෝ දෙනෙකු ගඩොල් ගල් හොය හොයා ගෙවල් ගානේ යන අයුරු මම දුටුවෙමි. මම ශාන්තිගෙන් ඉල්ලා ගත් ගඩොල් තුන සඟවා ගතිමි.

කෙහෙල්මල් ගෑස්කාරයෝ අපිට කරපු අපරාධයන්. දන්නා ඉතිහාසයේ සිටම ඔවුන් අපිට දසවධ දුන් අපේ ජන්මාන්තර වෛරක්කාරයන්ය.

ගඩොල් තුන සූදානම් කරගෙන මම ලිප සකස් කළෙමි. ‘ඉක්මනට ඕක පත්තු කරන්න මේ හාල් ටික වතුරේ පෙඟෙනවා’ බිරිඳ හාල් ටික හැළියට දමා පොල් ගෑමට සූදානම් වූවාය.

හදිසියේ ගැරඬියෙක් ගෙදරට ආවොත් එළවන්න භූමිතෙල් කඳුළක් විතර අර මාමයිට් කුප්පියේ දාල තියෙනවා. ඕනෑනම් භූමිතෙල් ටිකත් ලිපට ඉහින්න බිරිඳගේ තවත් නියෝගයක්. කටේ තිබෙන කෙළ හිඳෙනතුරු මම ලිපට හුළං පිම්බෙමි.

ගිනිකූරු ඉවර කරන්න එපා. ඕයි… අර පෙරහැරේ ගිනි බෝලකාරයා වගේ ගින්දර කන්න ලෑස්ති වෙන්න එපා. බිරිඳ පොල් ගාන අතරතුරේදී බෑගිරි ගහමින් කීවාය.

එෆ්.එම්. රේඩියෝ එක වගේ ඇය දිගින් දිගට කතා කළාය. ගින්දර ලිපක් ලෑස්ති කරන එක මෙච්චර අමාරුනම් පසුගිය කාලයේ ගෑස්කාරයෝ නැතිව අපේ අම්මලා ලිපවල් හදාගෙන කෑම බීම හැදුවේ කොච්චර අමාරුවෙන්ද කියා මට සිතුනි. කෙහෙල්මල් ලිප පත්තු කිරීමට තුන්වෙනි ගිනිකූරත් මම නාස්ති කළෙමි.

සිව්වෙනි ගිනකූරේ උත්සාහයෙන් යන්තමට ගින්න පත්තුවුණේ පත්තර තීරු හතරක් ඉරා දැමීමෙන් පසුය. හරි හරි ලිප පත්තුවුණා. වැටෙන්න ගිය සරොම තනි අතින් අල්ලාගෙන මම කෑ ගැසුවේය.

බිරිඳ බත් හැළිය ලිපේ තැබුවාය. ඇයට යකා නැංගාය. මෙම ගඩොල් ගල් ඈත් කරලා ලිප හදලා තියෙන්නේ. ඉක්මනට මේ ගඩොල් ගල් තුන ළං කරන්න… ඇය කෑගැසුවාය. ගඩොල් ගල් තුන ළං කිරීමට මම උත්සාහ ගත්තෙමි. ඒ වන විටත් මගේ දෑතම පිලිස්සී ගියේය.

මටද යකා නැංෙඟ්ය. ගෑස්කාරයන්ගේ පරම්පරාවම මගේ මතකයට ආවේය. ඔවුන්ගේ මෑණියන්වරු මතක් කරමින් මොන මොනවාදෝ කීවා මතකය.

බිරිඳ බත් හැළිය ලිපේ තිබ්බාය. නැකතට කිරි උතුරවන්න බලා සිටින ආකාරයට මම දණගසා ලිප දෙස බලා සිටියෙමි.

‘හුඟාක් ගින්දර දාන්න එපා’ ඕයි… බිරිඳ ගෑ ගැසුවාය. බත් හැළිය කෙසේ වෙතත් ඉතුරු ටික උයන්න (හොදි) දර සොයාගත යුතුය.

පරණ පුටුවක් උදැල්ලේ ගසා කඩා දැමීමට මම කි‍්‍රයා කළෙමි.

බිරිඳ ආයෙත් පරල වූවාක් මෙන් විලාප තියන්නට වූවාය.

ඉවරයි ඉවරයි අපේ ආච්චි දීපු හොඳ වටිනා පුටුව මේ මනුස්සයා ඒකත් කඩලා දරට දැම්මා. තමුසෙ නොදන්නවට ඔය පුටුව කෞතුක වස්තුවක්. දැන් ඉතින් ඒකත් ඉවරයි. කෑවා කෑවා. තවත් දර කෑලි තුන හතරක් මා සොයා ගත්තේ ගෙදර තිබුණු පරණ ඇඳ පොලූ ටික උපයෝගී කරගෙනය.

පරිප්පු උයන්න පෙරේදා ගෙනාපු ඇතිලිය ඉක්මනට ගෙනල්ලා දෙන්න බිරිඳගෙන් නියෝග පිට නියෝග ගලා එයි.

ඇතිලි දෙකක් තිබුණාම ඇති. අද තුන හතරක් තාත්තටයි පුතාටයි උයන්න බැහැ. බිරිඳ බරපතළ ප‍්‍රකාශයක් නිකුත් කළාය.

බිරිඳ යළිත් කෑ ගැසුවාය. ඉවරයි ඉවරයි ගෙනාපු ඇතිලි දෙකක්ම බිඳිලා මේවා කොහොමද බිඳුනේ බිරිඳ ප‍්‍රශ්නය කළාය.

අද ගෑස්කාරයන්ගේ ගෑස් වගේ මැටි වළං පවා අපිට සැව් විශ්වාස කරන්න බැහැ.

”බිඳුණු වළං වගයක්නේ උන් අපට විකුණලා තියෙන්නේ” මම කීවෙමි.

මට බොරුකරන්න එපා. මේ වළං මම ගන්නේ හොඳට වතුර දාලා බලලයි. ඔහේගේ අතින් බිඳිලා තියෙන්නේ… ඇය බකුසු බැල්මකින් මා දෙස බලා කෑගැසුවාය.

මට මතක නැහැ මම කීවෙමි. පරණ පුටුව කඩන්න ගිය වෙලාවේ උදලූ පාරට පුටු කෑල්ලක් වළං දෙකට වැදුණු ආකාරය යන්තමට මතකය… ඒ ටිකත් අමතක කර දැමුවෙමි.

ගෑස් කරපු අපරාධයක්… වළං දෙකක් බිඳුණා මගේ දෑත් ගින්දරවල පිච්චුනා.

අලාබේ ඉල්ලලා ගෑස්කාරයින්ට පාඩමක් උගන්වන්න ඕනෑ….

මේ ඔක්කොම ගෑස් හින්දයි.

advertistmentadvertistment
advertistmentadvertistment