ගෑස් කාන්දුවීමකින් දිවි අහිමි වූ ආබාධිත රණවිරුවාගේ කතාව

364

අපි දැන් අන්ත අසරණයි ඉක්මණින් පැන්ෂන් එක හදලා දෙන්න

උතුරු නැගෙනහිර ක‍්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී කුරිරු ත‍්‍රස්ත‍්‍රවාදීන්ගේ මෝටාර් ප‍්‍රහාරයකට ලක්ව වෛද්‍ය හේතූන් මත නිවසට පැමිණ සිටියදී ඉකුත් 2021 අගෝස්තු මස 23 දා අලූයම් කාලයේ ගෑස් කාන්දුවීමෙන් හටගත්

ගින්නෙන් දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මෙම රණවිරුවා මියගොස් තිබිණි.

ගෑස් කාන්දුවීමකින් දිවි අහිමි වූ ආබාධිත රණවිරුවාගේ කතාව

මෙසේ ඉතා අවාසනාවන්ත ලෙස මියගියේ කුසාල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 675, මහරතැන්න බටහිර මැද කොටස 26/ඒ, මහරතැන්න මැණික්හින්න ලිපිනයේ පදිංචිව සිටි මෙරගල්ගෙදර ලසන්ත රංජිත් කුමාර (33) යන අයෙකි. 2008 වර්ෂයේ ශී‍්‍ර ලංකා යුද හමුදාවට එක්ව ඇති ලසන්ත රංජිත් කුමාර මහතා 114, වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කොට ඇති අතර, ඕලූමඩුු ප‍්‍රදේශයේ කි‍්‍රයාන්විත රාජකාරියේ යෙදී සිටියදී 2009, ජනවාරි 23 වැනි දින මෙසේ තුවාල ලබා ඇත.

දිවයින පුරා ගෑස් කාන්දුවීමෙන් සිදුවූ හානි සහ මරණ පිළිබඳව වැඩි අවධානයක් මාධ්‍යය මගින් සිදුකෙරුන ද මෙම මරණය සම්බන්ධයෙන් අවධානයක් නොවුණු හෙයින් ඒ පිළිබඳව මාධ්‍යයන් දැනුවත් කිරීම සඳහා එම පවුලේ ඥාතීන් පිරිසක් අපගෙන් කළ ඉල්ලීමකට අනුව ඉකුත් ඉකුත් 22 වැනි දින අප එම නිවෙස වෙත ගිය අතර එහිදි ගෑස් කාන්දුවීමෙන් සිදුවු මරණය පිළිබඳ වෛද්‍ය වාර්තාව ඇතුළු අනෙකුත් සාක්ෂි සටහන් ද දැක ගන්නට ලැබිණි.

ඒ අනුව මිය ගිය අයගේ බිරිඳ වන රේණුකා දසනායක (30) මහත්මිය අප සමග මෙසේ පැවසුවාය.

2021.07.17 වන දින රෑ 9.00 ට විතර අපි නින්දට ගියා. මහත්තයාගේ අම්මා පාන්දර 1.00 විතර එළියට යන්නට හදල තියෙනවා. එහිදී අම්මා පුතා ගෑස් එක ලීක් වෙනවා කියලා මහත්තයට කතා කරල තියෙනවා. ඒ වෙලාවේ මහත්තයා කුස්සියට ගිහිල්ලා ලයිට් එක දාලා. ඒ ටික වෙලාවකින් ඩෝං ගහලා බෝම්බයක් ගහනවා වගේ විශාල ශබ්දයක් කුස්සියෙන් ඇහුණා. අපි එක පාරටම ඇහැරිලා ගිහින් බලනකොට මගේ රත්තරන් මහත්තයා කුස්සියේ ඇතුලේ පිචිචිලා වැටිල හිටියා. ඒ වෙලාවේ ගමේ කට්ටිය දුවගෙන ඇවිල්ලා මහත්තයා මැණික්හින්න රෝහලට අරන් ගියා. ඉන් පසු එදාම රෑ මහනුවර මහ රෝහලට ඇතුළත් කළා. ඊට පස්සේ මාස එකයි දවස් අටක් විතර ඉස්පිරිතාලේ හිටියා. එහෙම ඉඳලා අටවෙනි මාසේ 23 වැනිදා මහත්තයා නැතිවුණා.

මේ සිද්ධියෙන් මගේ මහත්තයාගේ අම්මගෙත් කකුල් දෙකයි අත් දෙකයි පිචිචුණා. අම්මත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැන් නිවෙසේ සිට සිංහල වෙදකම් කරනවා.

මෙම සිද්ධියෙන් අසරණ වී සිටින බිරිඳ රේණුකා දසනායක මහත්මිය මෙසේද කීවාය. මගේ මහත්තයා ආබාධිත රණවිරුවෙක්. කකුලට වෙඩි වැදිල කම්බියක් දාලා හිටියේ. එයා 2020 තමයි පැන්ෂන් ආවේ. වෛද්‍ය හේතූන් මත තමයි පැන්ෂන් ආවේ. මහත්තයා මිය ගියත් හරි තවම අපට වැටුපක් ලැබුනේ නෑ. මට පිරිමි දරුවන් දෙන්නෙක් ඉන්නවා. ලක්ෂාන් රශ්මික කුමාර (10) සිතුමි කවිඳු සත්සර (6)ලොකු පුතා. මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා. වලල පාතදුම්බර මහා විද්‍යාලයට යන්නේ. පොඩි පුතා මොන්ටිසෝරි යනවා. ඉතින් මගේ දරුවෝ දෙන්නයි, මගේ අම්මයි මායි ජීවත්වන්නේ බොහොම අමාරුවෙන්. අපට වෙන ආදායම් මාර්ගයක් නෑ. දැන් අපි අසරණයි. ඉතින් අපේ මහත්තයාගේ පැන්ෂන් ඉක්මණින් හදල දෙන්නට කියල අදාල නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම මෙම මරණය කාගේවත් වැඩි අවධානයකට යොමුවුනේ නෑ. ලංකාවේ ගෑස්වලින් සිද්ධවුණු පළමු වැනි මරණය මේ යැයි මා සිතනවා. ගෙදර ඇවිල්ලා අවුරුද්දක් විතර

ගියාට පස්සේ තමයි මේක සිද්ධ වුනේ. ඉතින් අපේ මහත්තයාගේ මරණය සම්බන්ධයෙන් අපට සාධාරණය ඉටුකර දෙනමෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

මියගිය අයගේ මව වන ඒ. ජී. ලීලාවති (54) මහත්මිය :

මම නිදාගෙන ඉඳල එලියට යන්නට නැගිට්ටා. එතකොට කුස්සිය පැත්තෙන් හෝස් ගාලා ශබ්දයක් එනවා ඇහුණා. වතුර ගලනවා වාගේ. ඊට පස්සේ මම කුස්සිය පැත්තට ගිහින් බලන කොට ගෑස් එක ලීක් වෙනවා දැක්කා. මම.. මගේ පුතා… මගෙ පුතා කියා තුන් සැරයක් කතා කළා. එතකොට මගෙ පුතා දුවගෙන ඇවිල්ලා කුස්සියේ ලයිට් එක දැම්මා. ලයිට් එක දාන කොටම හෝස් ගාලා ගෑස් එක ඇවිලූනා. මගේ පුතා ඒ වෙලාවේ බිම වැටුනා. මම පුතා උස්සන්න බැලූවා. මට පුතාව උස්සගන්න බෑ. කවුරුවත් ඒ වෙලාවේ එතන හිටියේ නෑ. මගේ පුතා හතර සැරයක් විතර පිචිචුණා. මගේ දුවයි, පුතයි මාව හොස්පිටල් එකට අරන් ගියා. මගේ පුතා මහනුවර මහ රෝහලේ මාස එකහමාරක් විතර ප‍්‍රතිකාර ගත්තා. මට එකම පුතයි හිටියේ මගේ පුතා මට බේරා ගන්නට බැරිවුණා. මගේ දරුවන්ටයි මටයි වෙච්ච මේ දුක නම් දරාගන්නට බෑ.

රට දැය බේරාගන්න යුද බිමට ගොස් අභීතව සටන් වැදුණු මෙම රණවිරුවා සටන් බිමේ දැක්වූ දක්ෂතා වෙනුවෙන් උතුර හා නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි, උතුරු නැගෙනහිර සංග‍්‍රාමික දේශපුත‍්‍ර යන පදක්ක්කම් හිමිකර ගෙන ඇත. කුරිරු ත‍්‍රස්ත‍්‍රවාදීන් සමග සටන් වැද තම ජීවිතය බේරාගෙන ආබාධිතව නිවසට පැමිණි මෙම රණවිරුවාට නිවසේ සැඟව සිටි ගෑස් මාරයාට තම ජීවිතය බිලිදීමට සිදුවීම අතිශය ඛේදජනකය.

වත්තේගම අතිරේක – එන්. විමලසිරි

advertistmentadvertistment
advertistmentadvertistment