ගෑස් කැණීමට සිතියමක් සකසන්නැයි කෝපා කමිටුවෙන් බලශක්ති නිලධාරීන්ට උපදෙස්

166

මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබා ගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස්කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී ලංකාවේ සැලසුම් කොට ඇති ස්වභාවික වායු කැනීමේ ව්‍යාපෘති  (LNG)  පිළිබඳව සහ ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කිරීමක් අමාත්‍යාංශ නිලධාරීන් සිදුකළ අතර, මෙම කැනීම් සඳහා විවිධ බාධාවන් පවතින බව ද ඔවුහු පෙන්වා දුන්හ. මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් මේ සඳහා සම්බන්ධ වන පාර්ශ්වයන් පිළිබඳව විමසන ලදී. එසේම මෙම කැනීම් සඳහා විදේශ රජයන්ගේ උපදෙස් අවශ්‍ය වන්නේ දැයි එම මන්ත්‍රීවරු විමසා සිටියහ. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ එසේ වෙනත් රජයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොවන බවයි. මේ අනුව මෙම කැනීම් ඉක්මනින් සිදුකොට අවසන් විය යුතු බවත්, එය රටේ අවශ්‍යතාවක් බවත් එබැවින් මෙම කැනීම් සිදුකිරීමට මාර්ග සිතියමක් ඉක්මනින් සකස් කරන ලෙසත් කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, වෛi සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, උදය ගම්මන්පිල, හේෂා විතාන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, මොහොමඩ් මුසම්මිල්, දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, වෛi උපුල් ගලප්පත්ති, එස්. ශ්‍රීදරන්, බී. වයි. ජී. රත්නසේකර, අශෝක් අබේසිංහ සහ ප්‍රසන්න රණවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment