ගෑස් නැති පීඩනය පුපුරයි –  ඊයේ මහ දවල් ආමර්වීදියේ ලොරියෙන් ගෙනා ගෑස් 52 ක් බලෙන් උස්සති

288

දෙදෙනෙක් අත්අඩංගුවට

කොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ ගෑස් අලෙවි සලකට පැමිණි ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා නිකුත් කර තිබූ ටෝකන් අවසන් වීමෙන් පසු ගෑස් අහිමිවීම දරාගත නොහැකිවූ පිරිසක් මානසික පීඩනය මැද එය දරාගත නොහැකි තැන පොරකා ගෑස් සිලින්ඩර් 52 කට අධික ප්‍රමාණයක් ඊයේ  (8 දා) පස්වරුවේ බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත.

ගෑස් නැති පීඩනය පුපුරයි -  ඊයේ මහ දවල් ආමර්වීදියේ ලොරියෙන් ගෙනා ගෑස් 52 ක් බලෙන් උස්සති

පැහැරගෙන ගිය බව කියන තවත් ගෑස් සිලින්ඩර් 49 ක් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත. මෙහි අනෙක් සිලින්ඩර් නිසි පරිදි අලෙවි කිරීමට සමත්ව ඇත. මේ අතර ලොරි රථයේ සේවකයකු කීවේ ගෑස් සිලින්ඩර් 70 ක් පමණ අස්ථානගත වී ඇති බවයි.

ගෑස් මිලදී ගැනීම සඳහා දහසකට ආසන්න පිරිසක් පෙරේදා (7 දා) උදෑසන සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද රැගෙන විත් පෝලීම්වලට වී සිට ඇත්තේ කෙසේ හෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේ අරමුණිනි.

මුතුරාජවෙල සිට දිනකට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 80,000 බැගින් රටපුරා බෙදාහැරෙන අතර කොළඹ ආමර්වීදියේ අදාළ ගෑස් නියෝජිත අලෙවි සැලට ගෑස් තොගයක් පැමිණෙන බවට තොරතුරු ලැබීමත් සමග ආමර්වීදිය, කොටහේන, මෝදර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් 1000 කට අධික පිරිසක් ගෑස් සිලින්ඩරද රැගෙන පෙරේදා (7 දා) සිටම පෝලිම්වලට වී සිට ඇත.

අව්වැසි නොතකා මෙලෙස රැඳී සිටි ඇතැමුන් කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩර මෙන්ම කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර්ද තබා ගෙන සිටි අයුරු දක්නට ලැබිණි.

කොළඹ ආමර්වීදිය ප්‍රදේශය ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙම පදිංචිකරුවන්ගෙන් බහුතරය වතුවල හා මහල් නිවාසවල පදිංචිකරුවෝ වෙති. මේ දිනවල භූමිතෙල් නොමැති වීමත් උයා පිහා ගැනීමට දර හා ලිප් තබා ගැනීමට පහසුකම් නොමැති වීමත් නිසා මොවුහු දැඩි අසරණභාවයට පත්ව සිටිති.

ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමට පැමිණි පිරිසට ටෝකන් පත් 250ක් බෙදාදී ඇත. මෙම පෝලිමේ ටෝකන් පත් නොමැති පිරිසක්ද සිට ඇති අතර ඊයේ (8 දා) සවස 2.00 ට පමණ ගෑස් සිලින්ඩර් 250 ක් රැගත් ලොරිය පැමිණීමත් සමග ටෝකන්පත් අනුපිළිවෙළට සිලින්ඩර් ලබාදීම ආරම්භ කර ඇත. ඒ සමගම පීඩනය දරාගත නොහැකිවූ පිරිස් පෝලිම් පැන ගෑස් සිලින්ඩර් පිරවූ ලොරිය අසලට පැමිණ එක පොදියට ගෑස් සිලින්ඩර් බිමට ගෙන පිටව ගොස් ඇත.

දහසකට අසන්න පිරිසක් මෙලෙස එක පොදියට රැස් කෑමට පටන් ගැනීමත් සමග සේවක පිරිසට එය පාලනය කිරීමට නොහැකිව ඇත.

එම ස්ථානයේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනාටද පිරිස පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පසු කොටහේන පොලිසියෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ආමර්වීදිය ගෑස් අලෙවි සල අසලට කැඳවා තිබේ.

ඒ අනුව ගෑස් සිලින්ඩර් රැගෙන ග්‍රෑන්ඩ්පාස් මැලේවීදිය ඔස්සේ යමින් සිටි දෙදෙනකු සිලින්ඩර් දෙකක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

කොටහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කෝසල නවරත්න මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්‍ෂණ සිදු කෙරේ.

ශිරාන් රණසිංහ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්,
 

advertistmentadvertistment
advertistmentadvertistment