ගෑස් පිපිරීම්වලින් හානියට පත්වන්නන් වෙනුවෙන් නීති සහය ලබාදීමට සූදානම් – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

89

රටපුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයන් බවට පත්වන සියලූදෙනා වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (14දා) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේද කීවේය. ප‍්‍රමිතියක් නැති ආණ්ඩුවක් තියෙන රටකින් ප‍්‍රමිතිගත දෙයක් බලාපොරොත්තු වෙන්නට බැහැ. කළ යුත්තේ ප‍්‍රමිතිය නැති පාලනය ඉවත් කිරීමයි.

බාල ප‍්‍රමිතියෙන් යුතු පොහොර ගෙන්වීමෙන් අද වන විට රට මහා විනාශයකට තල්ලූ වී තිබෙනවා. ඉන් රටේ ආර්ථිකයත් ගොවි ජනතාවගේ ජීවිතත් ආණ්ඩුව විසින් අනතුරකට හෙළා තිබෙනවා.

දිනෙන් දින දුර්වල ආණ්ඩුවේ බාල ප‍්‍රතිපත්ති නිසා රටේ ජනතාව විපතට පත් වෙනවා. ගෑස් පිපිරීම්වලට කිසිදු උත්තරයක් රජයේ ලබාදෙන්නේ නැහැ. ගෑස් පිපිරීම් තුළ අද ජීවිත අහිමි වෙලා තියෙනවා. දරුවෝ හතර දෙනෙකුට අම්මා කෙනෙක් නැති වෙලා. ස්වාමි පුරුෂයකුට භාර්යාවක් නැතිවෙලා.

මෙහි ඉදිරියේ පාරිභෝගික කටයුතු භාර ඇමැතිවරු ජනතාව මග හරිමින් සිටිනවා. අහන ප‍්‍රශ්නවලට උත්තර දෙන්න බැහැ. මේ ගෑස් පිපිරීම්වලට ආණ්ඩුවට දෙන්න පුළුවන් එකම විසඳුම කොමිටි පත්කිරීමද? ප‍්‍රශ්නවලින් පලා යෑමද? කවුද මේ ජීවිතවලට වගකියන්නේ? අද වන විට මේ ආණ්ඩුවට බැරිවෙලා තිබෙනවා ගෑස් පිපිරීම් ප‍්‍රශ්නයට විධිමත් විසඳුමක් ලබා දෙන්න. විධිමත් උත්තරයක් ලබා දෙන්න. හැබැයි ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවා බාල පොහොර ලබාදුන්න කම්පැණියකට රුපියල් ලක්ෂ දහතුන් දහස් පන්සිය විස්සක් රටේ සල්ලි වලින්, ජනතාවගේ සල්ලි වලින් ගෙවන්න.

රජය ප‍්‍රතිපත්තිමය තීන්දුවකට ඇවිල්ලා තියෙනව බාල පොහොර එවපු කොම්පැණියකට මේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් මේ සා විශාල මුදලක් කැප කරන්න. එතකොට මං අහන්න කැමතියි. අර ජීවිතය අහිමි වුණු පවුලට කොපමණ මුදලක් කැප කරන්නට ආණ්ඩුව ලැහැස්තිද? මේ වන විට ගෑස් පිපිරීම් හයසියයකට අධික ප‍්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මොනවද මේ ඇත්තන්ට ලබා දෙන වන්දි? ගෑස් මගඩිය ඉදිරියේ, ගෑස් ඛේදවාචකය ඉදිරියේ අපේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත අහිමි වෙනකොට ආණ්ඩුව කරන්නේ අහක බලා ගන්න එක.

රසායනික පොහොර ගෙන්නන්නන් පෞද්ගලික ආයතන හරහා ගෙන්නන්නලූ. මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ? මොකක්ද මේ රජය කරන්නේ? හිතාමතාම ගොවීන්ට කියනවා. රසායනික පොහොර භාවිතා කරනවනම්, සූදානම් වන්න කිලෝ පනහේ මිටියට රුපියල් දොළොස්දාහක්, දහතුන් දහසක් පමණ ගෙවන්න.

මේ හදන්නේ ගොවියා බංකොළොත් කරන්න. මේ හදන්නේ ගොවියා දිලිඳුභාවයේ පතුලටම දමන්න. මේ හදන්නේ ගොවියා මරණ මංචකයට අරන් යන්න.

advertistmentadvertistment
advertistmentadvertistment