ගෑස් මිල ඉහළ දැමීමට එරෙහිව කසකස්ථානයේ උද්ඝෝෂණ දිගටම

122

ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එරෙහිව දැවැන්ත මහජන උද්ඝෝෂණයන් දියත් කර ඇති කසකස්ථානයේ හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කර ඇති අතර ජනාධිපති කාසිම් ජෝමාර්ට් ටොකායෙව් විසින් සිය කැබිනට් මණ්ඩලය මෙන්ම ජාතික ආරක්ෂාව භාරව සිටි ප‍්‍රබල දේශපාලනඥයකු තනතුරෙන් ඉවත් කර තිබේ.

ගෑස්වල මිල ගණන් දෙගුණයකින් ඉහළ දැමීමත් සමගම ඉකුත් සෙනසුරාදා සිට දියත් කර ඇති මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයන් හේතුවෙන් ඊයේ (07දා) දිනය වන විට උද්ඝෝෂකයන් 10 දෙනෙකු හා ආරක්ෂක නිලධාරීන් 18 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එරෙහිව දියත් කර ඇති උද්ඝෝෂණවලට සහභාගි වී හිංසාකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂකයන් 2298 දෙනෙකු ඊයේ දිනය වන විට අත්අඩංගුවට ගෙන තිබූ බව කසකස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

ඊයේ දිනය වන විට ගෑස් මාස හයක කාලයක් සඳහා පෙර පැවති මිලටම අලෙවි කිරීමට රජය විසින් තීරණය කර ඇති බව නිවේදනය කෙරුණද උද්ඝෝෂණ ව්‍යාපාරය අවසන් කිරීමට ඊයේ දිනය වන විටත් බලධාරීන් අපොහොසත් වී තිබිණි. මේ වන විට උද්ඝෝෂණය දේශපාලන මුහුණුවරක් ගෙන ඇති අතර කසකස්ථානයේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වන උද්ඝෝෂකයෝ අල්මාටි අගනුවර පිහිටි ජනපති මැඳුර මෙන්ම ආණ්ඩුකාරවරයාගේ නිල නිවසට ද ගිනි තැබීමට පෙරේදා දිනයේ පියවර ගෙන තිබිණි. රට තුළ පවතින හෝටල්, ආපනශාලා, සාප්පු සංකීර්ණ හා සුපිරි වෙළෙඳසල් වසා දමා තිබීම හේතුවෙන් බොහෝ දෙනාට තම දෛනික ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වී තිබූ අතර ආහාර මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් පවතින බවත් බොහෝ දෙනා පවතින තත්ත්වය යටතේ නිවෙස්වලින් පිටතට යෑමට බියක් දක්වන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment