ගෑස් මෙටි්‍රක් ටොන්  ලක්‍ෂයක් ගෙන්වනවා – අගමැතිගෙන් මැතිසබයේදී විශේෂ ප්‍රකාශයක්

279

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක් අපෙන්  ඩොලර් මිලියන 20ක් යොදවා

● ඉන්ධන ගෙන්වන්න මසකට ඩොලර් මිලියන 550ක් ඕනෑ හැකි උපරිමයෙන් ඉන්ධන ගෙන්වනවා ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න

● සහල් මිල පාලනයට ඉන්දියාවෙන් සහල් ගෙන්වනවා

● එකම ආරක්‍ෂිත මාර්ගය IMF යෑමයි

● අරගල කළ යුත්තේ රට නැංවීමටයි

● ආර්ථික අර්බුද දැලෙන් මිදෙමු: – එක්වී අභියෝගය ජය ගනිමු

අප ඉදිරියේ ඇති එකම ආරක්‍ෂිත මාර්ගය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහතිකයක් ලැබුණහොත් එම විශ්වාසය මත ලෝකයේ අනෙක් රටවල්වලින් ආධාර සහ අඩු පොලී ණය ලබාගැනීමේ අවස්ථාව උදාවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.

වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් එසේ පැවසූ අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

වර්තමානයේ අපේ රට මුහුණදෙන සැබෑ තත්ත්වය සහ ඊට පිළියම් වශයෙන් අප ගන්නා ක්‍රියාමාර්ග ගැන සති දෙකකට පමණ වතාවක් ඔබට දැනුම් දෙනවා. සමහරු මේක දිහා උපහාසයෙන් බලනවා. එයා අගමැතිකම ගත්තේ රටේ අමාරුකම් අපට කියන්න ද කියලා මාව විවේචනය කරනවා. තවත් සමහරු ඇත්ත තත්ත්වය පෙන්වා දෙනවාට ස්තූතිවන්ත වෙනවා. ඒ දුෂ්කරතා ජය ගැනීමේ පිළියම් අපට යෝජනා කරනවා.

ඔබ ඉන්නේ ඒ කණ්ඩායම් දෙකෙන් මොන පැත්තක වුණත්, රටක් විදියට එකට එක්වෙලා, මේ අසීරු තත්ත්වයෙන් රට ගොඩනැංවීමේ ක්‍රියාදාමයට එක්වෙන්න කියා මම ඉල්ලා සිටිනවා. හැමෝම එකතුකරන් අපි මේ ගමන යමු. එතකොට අපට මේ තත්ත්වයෙන් අපේ රට ගොඩගන්න පුළුවන්.

අපි මේ මුහුණදෙන්නේ ඉන්ධන, ගෑස්, විදුලි බලය සහ ආහාර පිළිබඳ ප්‍රශ්නයකට එහා ගිය බරපතළ තත්ත්වයකට. අපේ ආර්ථිකය කඩා වැටිලා. ඒකයි බරපතළම ප්‍රශ්නය. සියලු ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් වෙන්නේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයකට පත් කර ගත්තොත් විතරයි. ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩොලර් අර්බුදය මුලින්ම විසඳා ගත යුතුයි.

● ආරම්භයේදීම කඩාවැටෙන වේගය පාලනය කර ගත්තා නම් මෙහෙම අමාරුවක වැටෙන්නේ නෑ

කඩාවැටුණු ආර්ථිකයක් – ඩොලර් සංචිත බිංදුවටම වැටුණු ආර්ථිකයක් – යළි ගොඩනැංවීම ලේසි පහසු කාර්යයක් නොවේ. කඩා වැටීම ආරම්භයේ දී කෙසේ හෝ තිරිංග දමා කඩා වැටෙන වේගය පාලනය කර ගත්තා නම් මේ තරම් අසීරු තත්ත්වයක් උදා වෙන්නේ නෑ. නමුත් ඒ අවස්ථාව අපේ රට අහිමි කර ගත්තා. දැන් අපි පතුලටම වැටෙන ලකුණු පේනවා. ඒත් අපි කෙසේ හෝ මෙතැනින් ගොඩවිය යුතුයි. මෙතැනින් ගොඩ එන්නේ නැතිව, රටේ වෙනත් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු සොයන්න අපට පුළුවන් වෙන්නේ නෑ.

● ණය බර නිසා කිසිම රටක් අපිට තෙල් දෙන්න කැමති නෑ

ඊයේ කංචන විජේසේකර ඇමතිතුමා ඉන්ධන තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු කිව්වා. තෙල් සංස්ථාව මේ වෙද්දි ඩොලර් මිලියන 700ක් ණයයි. මේ ණය බර නිසා ලෝකයේ කිසිදු ආයතනයක් අපේ තෙල් සංස්ථාවට තෙල් දෙන්න කැමති නෑ. අත්පිට මුදලටවත් තෙල් දෙන්න ඒ අය පස්ස ගහනවා.

ඉන්දීය ණය ආධාර යටතේ අපි දැනට බිලියන හතරක මුදලක් ණයට අරන් තියෙනවා. අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කර තියෙනවා. හැබැයි, ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපට ණය දෙන්න බෑ. සීමාවක් තියෙනවා. අනික් අතට, අප ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් අපට තිබිය යුතුයි. නැතිනම් කවුරුවත් අපට පිනට සල්ලි දෙන්නේ නෑ. එහෙනම් මේ අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගය කුමක්ද ?

දැන් අප ඉදිරියේ ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමයි. වෙනත් කිසිම මාර්ගයක් අප ඉදිරියේ නෑ. අපට යන්න තියෙන්නේ ඒ මාර්ගයේ. ඒ මාර්ගයේ ගොස් අතිරේක ණය පහසුකමක් සඳහා ඔවුන් සමඟ ගිවිසුමකට එළැඹීම අපේ අරමුණයි. ඉන් පසු ආර්ථිකය ස්ථාවරභාවයට පත් කරලීමේ පදනම සකස් කොට, අපනයන ආදායම් වැඩිකර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමයි.

මහ බැංකුව, භාණ්ඩාගාරය සහ අදාළ රජයේ නිලධාරීන්, වෘත්තිකයන්, විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට අප මේ වැඩපිළිවෙළ සැලසුම් කර තියෙනවා.

මීට වඩා යහපත් ක්‍රියා මාර්ග තිබේ නම් අපට දන්වන්න. රටට හිතකර ප්‍රායෝගික වෙනත් විසඳුමක් ඔබ ළඟ ඇත්නම් කරුණාකර එය ඉදිරිපත් කරන්න. ඒ වගේම දේශපාලන පක්ෂවලට අවශ්‍ය නම්, ඔවුන්ගේ විසඳුම් පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කරන්නත් අපට පුළුවන්. අප ඒ සඳහා ඉඩකඩ ලබා දීමට සූදානම්. හොඳයි. අප දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මම සවිස්තරාත්මකව ඔබට කියන්නම්.

මැයි 20 වෙනිදා වන විට කැබිනට් මණ්ඩලයේ බහුතරය පත් කළා. එතැන් සිට අපි අපේ වැඩපිළිවෙළ ආරම්භ කළා. මුලින්ම අප 2019 පැවති බදු ක්‍රමයට ආපසු යෑමට තීරණය කළා. 2025 වන විට ජාතික අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් ඇතිකිරීමට එකඟ වුණා. ආදායම් සහ බදු පිළිබඳ සාකච්ඡා කරන ෂඵත්‍ නියෝජිත පිරිස ලංකාවට ආවා. ඔවුන් අදාළ වාර්තාව ලබා දුන්නා. පසුගිය සඳුදා ෂඵත්‍ ප්‍රධාන නියෝජීත කණ්ඩායම ලංකාවට පැමිණියා. ඉදිරි දින කිීපය පුරාම ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වෙනවා.

මේ වන විට ආරම්භක සාකච්ඡා පවත්වා අවසන්. රාජ්‍ය මුල්‍ය අංශය, මුල්‍ය අංශය, ණය තිරසරභාවය, බැංකු අංශයේ ස්ථාවරභාවය, සමාජ ආරක්ෂණ ජාලය ආදී අංශ රැසක් පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් නියෝජීතයන් දැන් ලංකාවට පැමිණ ඒ කටයුතුවල නිරත වෙනවා. ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කරලීමේ සැලසුම් රාමුව සකසමින් සිටිනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජීත කණ්ඩායම ලබන සඳුදා ලංකාවට එනවා.

මේ කණ්ඩායම් තුනම කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම අප සකස් කළා. ඔවුන් සමඟ අප දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වනවා. ඒ වගේම දැන් මේ කණ්ඩායම් තුනටම එකට එක්ව ලංකාවේදී සාකච්ඡා පැවැත්වීමේ අවකාශ උදාවෙනවා. අපේ වැඩපිළිවෙළ වේගවත් කරලීමට ඒ අවකාශය රුකුලක්.

● මේ මස අවසන් වෙද්දී ෂඵත්‍ සමග නිලධාරි මට්ටමේ එකඟත්වයක්

ජුනි මාසය අවසන් වෙද්දි අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟත්වයකට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.

මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කරලීමේ සැලැස්මයි. ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් සමඟ එක්ව ජූලි මාසය අවසන් වීමට පෙරාතුව මේ සැලැස්මේ රාමුව සකස් කිරීමට අප උත්සාහ කරනවා.

ඉන්පසු මේ සැලසුම් රාමුවත්, නිලධාරී මට්ටමේ එකඟතාවත් සලකාබලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අවසාන තීරණයට එළැඹීමට නියමිතයි.

● ඉන්දියාව, ජපානය සහ චීනය සමග ණය ආධාර සමුළුවක්

මේ වැඩ කටයුතුවලට සමාන්තරව අපි ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල මූලිකත්වයෙන් ණය ආධාර සමුළුවක් සංවිධානය කරන්නට සැලසුම් සකස් කරනවා. මේ රටවල් තමයි අපට ණය දෙන ප්‍රධාන රටවල්. ඔවුන් සමඟ යම් යම් නොහොඳ නෝක්කාඩු ඇති වී තිබුණා. අප ඒවා සමනය කරමින් නැවතත් හොඳ හිත තහවුරු කරලීමට වෙහෙසෙනවා. මේ රටවල් ණය ආධාර ප්‍රදානය කරන ක්‍රමවේදයන්හි වෙනස්කම් තියෙනවා. ආධාර සමුළුව මගින් අප උත්සාහ කරන්නේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මේ රටවල් තුන සමඟ පොදු එකඟතාවයකට පැමිණීමටයි.

අයිඑම්එෆ් සහතිකය අපට ලැබුණොත් අප ගැන ලෝකයට විශ්වාසයක් ඇති වෙනවා. ලෝකයේ අනික් රටවලින් ආධාර සහ අඩු පොලී ණය ලබා ගැනීමේ අවස්ථාවත් අපට ලැබෙනවා. ඒ සමඟම ෂඵත්‍ මුදල් ලැබෙනතුරු අතර මැදි කෙටි කාලීන ණය ආධාර ලබා ගැනීම සඳහා අප ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමඟත්, ඇමරිකාව ඇතුළු අපට හිතවත් වෙනත් රටවල් හා රාජ්‍ය නායකයන් සමඟත් සාකච්ඡා පවත්වමින් යනවා.

මේ කටයුතු සාර්ථක ලෙස නිම කර ගැනීමෙන් පසු ආර්ථික ස්ථාවරභාවයට පදනම දමා ගන්න අපට පුළුවන්. එතැනින් මේ ගමන අවසන් වුණා කියා සතුටු වෙන්න අපට බැහැ. එතැන තමයි, අපේ ඉදිරි ගමනේ ආරම්භය. ශක්තිමත් ආර්ථිකයක් කරා යන අලුත් ගමනක ආරම්භය. එතැන් සිට අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරලීමේ, නව ලාංකීය ආර්ථිකයක් බිහිකරලීමේ ගමන ඉදිරියටම යා යුතුයි.

මේ ඉදිරි ගමනේ පදනම සැකසීම සඳහා අගෝස්තු මාසයේ 2022 ඉතිරි කාලය සඳහා අන්තර්කාලීන අයවැයක් අප ඉදිරිපත් කරනවා. 2023 වසර සඳහා අයවැය ලේඛනය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා. ඊට අමතරව ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අවශ්‍ය නව නීතිරීති සහ අණපනත් කීපයක් ද අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ අප සාකච්ඡා ආරම්භ කර තියෙනවා. ඒ සාකච්ඡාවලට සහභාගි වී, රට ගොඩ නැංවීමේ කාර්යයට උර දෙන සියලු පක්ෂවලට සහ විද්වතුන්ට මගේ ස්තුතිය පුද කරනවා.

ඒ සමඟම ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමටත්, දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් අපි ක්‍රියා කරනවා.

ලබන කන්නයේදි හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට සැලසුම් සකස් කර තියෙනවා.

සහල් මිල පාලනය කිරීම උදෙසා, ඉන්දීය ණය ආධාර යටතේ සහල් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමට අප පියවර ගන්නවා. ඒ මගින් පාරිභෝගිකයන්ට සහනයක් ලබා දෙනවා.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරලීම උදෙසා වෙහෙසෙන, කැපවෙන පුද්ගලයන්ටත්, කණ්ඩායම්වලටත්, ස්තුතිය පළ කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රජයේ සාකච්ඡාවන්ට පක්ෂ භේද පසෙක ලා බොහෝ අය සහභාගී වන බවත්, මම මෙහිදී සිහිපත් කරනවා.

විශේෂයෙන්ම සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් කෘෂි ගොවිපළවල් පිහිටුවීමට මූලිකත්වය ගන්නා බව ප්‍රකාශයට පත් කර තියෙනවා. රජයෙන් කිසිදු සහයක් නොඉල්ලා එවැනි ගොවිපළවල් පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව මම ඔවුන්ට විශේෂ ස්තුතිය පුද කරනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පසුගිය දා ප්‍රකාශ කළ පරිදි වගා කළ යුතු ස්ථාන පවා මේ වනවිට ඔවුන් තෝරා ගෙන අවසන්.

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත හිස් ඉඩම් ගණනාවක් කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කිරීමට බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කටයුතු කර ගෙන යනවා. සජිත් ප්‍රේමදාස මහතාටත්, අනුර දිසානායක මහතාටත් වගා කිරීම සඳහා ඉඩම් පිළිබඳ ගැටලුවක් ඇත්නම් බන්දුල ගුණවර්ධන ඇමතිතුමන් සමඟ සාකච්ඡා කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතා කමිටුවේ ලේකම්තුමාටත් මේ පක්ෂ දෙකේ නායකයන් සමඟ සාකච්ඡා කරන මෙන් මම දැනුම් දී තිබෙනවා.

පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය 21 වන සංශෝධනයට එකඟත්වය පළ කළා. සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධන යෝජනා පිළිබඳ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කර තියෙනවා. රජයේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟ වී තියෙනවා. දැන් අප කඩිනමින් කළ යුත්තේ මේ යෝජනා පිළිබඳ එකඟත්වයකට පැමිණ පාර්ලිමේන්තුවට අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීමයි. නමුත්, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු වර්ජනය නිසා 21 වන සංශෝධනයේ කාර්යයන් තවදුරටත් ප්‍රමාදවීම කනගාටුවට කරුණක්.

අප අලුතින් යෝජනා කළ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය පිළිබඳව පූර්ණ සැලසුමක් හා වාර්තාවක් ලබා දෙන ලෙස මම හිටපු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළා. එතුමාගේ වාර්තාව පසුගිය සඳුදා අපට ලබා දුන්නා.

ඒ නිසා මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටින්නේ, වහාම පාර්ලිමේන්තුවට පැමිණ, 21 වන සංශෝධනය සම්මත කරලීමේ වැඩපිළිවෙළට දායක වන ලෙසයි. පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ස්ථාපිත කිරීමට එක්වන ලෙසයි.

මම මීට කළින් අවස්ථා ගණනාවකදී සිහිපත් කළා වගේ අද අපි මේ මුහුණ දෙන්නේ සාමාන්‍ය තත්ත්වයකට නෙවෙයි. නූතන ඉතිහාසයේ කිසි අවස්ථාවක අපේ රට මේ වගේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී නැති බව මා වරින් වර සඳහන් කර තිබෙනවා.

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයකදී ඔබ කැමති පක්ෂයට රට භාර දෙන්න. වඩාත් සුදුසු 225 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර යවන්න. ඒ වගකීම සහ බලය තියෙන්නේ පුරවැසි ඔබට. එතැනදී රට මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට මූලික වූවායැයි සිතන අයව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඔබට හිමිවෙනවා. මේ තත්වයට රට ඇද දැමූ අයට දඬුවම් කිරීමේ බලය අලුතින් පත්වන ආණ්ඩුවට හිමිවෙනවා. ඒත් ඒ සියල්ල ඉටු කර ගන්න පුළුවන් වෙන්නේ රට වැටී ඇති තත්ත්වයෙන් යළි යථා තත්වයට පත් කර ගැනීමෙන් පසුවයි. ඒ බවත් සිහිතබා ගෙන, වර්තමානයේ රට වැටී ඇති තත්ත්වයෙන් යළි ඔසවා තැබීමේ වෑයමට දායක වන ලෙස මම මේ රටේ හැම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා.

ඒ නිසා අපි මුලින්ම මේ තත්ත්වයෙන් ගොඩ එන්නට එක්සිත්ව එක්සත්ව වෙහෙසෙමු. අසීරුතා ඇති වේවි, දුෂ්කරතා මතුවේවි. ඒ දුෂ්කරතා, අසීරුතා මැද්දේ අපිට රට ගොඩ නැංවීම වෙනුවෙන් සුළුවෙන් හරි කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම හැම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ කෙටි කාලයකට මේ දුෂ්කරතා, අසීරුතා විඳදරා ගෙන රට ගොඩනැංවීමේ වෑයමට දායක වන ලෙසයි.

අප රජයක් ලෙස දැනට අනුගමනය කරමින් යන ක්‍රියාමාර්ග අනුව ක්‍රම ක්‍රමයෙන් ඔබේ දුෂ්කරතා, අසීරුතා අඩුවෙමින් යනු ඔබට දැනේවි. විදුලි කප්පාදුව අවම තත්ත්වයකට ගෙන එන්නට හැකි වෙලා තියෙනවා.

ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 70ක් සහ අපේ ඩොලර් මිලියන 20ක් යොදවා ගෑස් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට දැනට පියවර ගෙන තිබෙනවා. මේ ගෑස් තොග ලැබුණු විට ගැස් හිඟිය සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වෙනවා.

ඉන්ධන සඳහා මාසයකට ඩොලර් මිලියන 550ක් පමණ අවශ්‍යයි. දැනට අප මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න මත මේ මුදල මාසිකව සපයා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා අපට ලැබෙන ඩොලර් ආදායම අනුව හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීමට තව කාලයක් ගතවේවි. මේ නිසා ඉතාම අරපරිස්සමෙන් ඉන්ධන භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා.

අප අද මුහුණ දෙන අර්බුද හමුවේ පාසල් අධ්‍යාපනය කඩා වැටී ඇති බව අප දන්නවා. දරුවන්ට මාස ගණනාවක් අධ්‍යාපනය අහිමි වුණා. මුලින්ම කොවිඩ් වසංගතය නිසා, ඊළඟට ආර්ථික කඩා වැටීම නිසා. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටිනවා. පාසල් බස් රථ, පාසල් වෑන් සඳහා ඉන්ධන ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩපිළිවෙළක් ගැන අදාළ බලධාරීන් සැලසුම් සකස් කරමින් යනවා. පාසල් දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමට හැකි පරිසරයක් ඉක්මනින්ම සකසා දෙනවා.

අපි පියවරෙන් පියවර, අඩියෙන් අඩිය මේ ගමන ඉදිරියට යමු.

ලෝකය අපට උදව් කරන්නේ මේ වැටුණ තැනින් නැගිටීමට අප තුළ ඕනෑකමක්, කැපවීමක් ඇති බව ඔවුන්ට දැනුනොත් විතරයි. ඉතිං මේ අවස්ථාවේ අපට එක්කෝ රට ගොඩනැංවීමේ අභිලාසය අප තුළ ඇති බව පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම්, එවැනි අවශ්‍යතාවයක් අපට නැති බව පෙන්වීම සඳහා නොයෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න පුළුවන්. ඔබ මෙතනදී අරගල කළ යුත්තේ රට නැංවීම වෙනුවෙන්. එහෙම නැතිව රට විනාශ කිරීම වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා හැම අවස්ථාවකදීම හොඳින් සිතා බලා, විමසිල්ලෙන් කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් දැන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ පොදු ස්ථාවරයකට පැමිණ තිබෙනවා. අයිඑම්එෆ් සමඟ එක්ව කටයුතු කළ බව සමගි ජන බලවේගය කලින් ප්‍රකාශ කර තිබුණා. දැන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වෙලාද ? ෂඵත්‍ සාකච්ඡා ගැන ජාතික ජනබලවේගය එකඟද නැද්ද ?

සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන ලෙස මම ෂඵත්‍ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා. මේ සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසට මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටිනවා. විවේචනයට වඩා මේ අවස්ථාවේ රටට වැදගත් වන්නේ විසඳුම්. ඒ නිසා ඔබ සතුව වඩාත් හොඳ විසඳුම් ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න.

21 වන සංශෝධනය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මේ පක්ෂ දෙකට 21 වන සංශෝධනය අවශ්‍යද නැද්ද? ස්වාධීන කොමිෂන් සභා අවශ්‍යද නැද්ද ? පාර්මේන්තු කමිටු ක්‍රමය මගින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මහජන මන්ත්‍රීවරුන් රාජ්‍ය පාලනයට හවුල්වීමට ඔවුන් එකඟද විරුද්ධද ? ඒ පිළිබඳ ඔබේ මතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් සමගි ජනබලවේගයට සහ ජාතික ජන බලවේගයට හිමි වී තියෙනවා.

මෙහිදී අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් තියෙනවා. සමස්ත පාර්ලිමේන්තුව පිළිබඳවම ජනතාවගේ පොදු විරෝධතාවක් එල්ල වෙමින් පවතින අවස්ථාවක් මේ. එවැනි අවස්ථාවක රටේ අනාගතයට බලපාන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී තිබෙනවා. එවැනි මොහාතක රටට සැබෑ ආදරයක් ඇත්නම් කළ යුත්තේ ඒ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමයි. ඒ ප්‍රතිසංස්කරණයන්හි අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දී නිවැරදි කිරීමයි.

ඒ නිසා හුදු සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී, රට වෙනුවෙන් අලුතින් සිතන්න කියා මම හැම දෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපට අවශ්‍ය දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනම් කර ගැනීම උදෙසා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වන ලෙස ද ආරාධනා කරනවා.

මේ ප්‍රතිසංස්කරණ කඩිනමින් ඉටු කිරීම ජනතා අපේක්ෂාව බවද මම මෙහෙිදී අවධාරණය කරන්නට කැමතියි.

රට ගැන සිතා අන් සියලු භේද කෙටි කාලයකට අමතක කර එකට එක්වී කටයුතු කළොත් අපට මේ ව්‍යවසනයෙන් ලංකා මාතාව බේරා ගන්න පුළුවන්. වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැමදෙනාම එකට එක්වී දැල ඔසවා ගෙන පියාඹපු නිසා. වැද්දාට බැණ බැණ සිටියානම් මුළු වටු රැළම දැලට හසුවෙනවා, ගොදුරු වෙනවා. ඒ නිසා අපි මේ ආර්ථික අර්බුද දැලෙන් මිදෙමු. අපි එක්වී ඒ අභියෝගය ජය ගනිමු.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment