ගෑස් යකා

1241

රට පුරා මුළුතැන් ගෙවල්වල තිබෙන ගෑස් සිලින්ඩර පුපුරන්නට පටන්ගෙන ඇතැයි දැනගන්නට තිබේ. දැනට ආරංචි වී ඇති පරිදි වැලිගම, අලව්ව, රත්නපුර, කොට්ටාව, නිකවැරටිය, කොළඹ ඇතුළු ප‍්‍රදේශ ගණනාවකින් මෙබඳු පිපිරීම් වාර්තා වී ඇත. ගෑස් පිළිබඳ කතන්දරවලට මේ දිනවල ඉතා හොඳ මාර්කට් එකක් ඇත. එයට හේතුව මාස කිහිපයක සිටම රට තුළ ගෑස් හිඟවීමය. මේ රටේ හැට ලක්ෂයක් දෙනා එල් පී ගෑස් යොදාගෙන ආහාර පිසීම සිදු කරති. මෙයට ගෙවල් මෙන්ම හෝටල් ද අයත් ය. මෙවර ගෑස් හිඟය පටන් ගැනීමට පෙර ගෑස් සම්බන්ධයෙන් වෙනම අර්බුදයක් හටගෙන තිබිණ. එයට හේතු වූයේ මේ වසරේ මුල් කොටසේදී ලීටර් දහ අටක හයිබි‍්‍රඞ් ගෑස් නමැති ගෑස් වර්ගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමය. එම ලීටර් 18 අසුරා තිබුණේ ඊට පෙර ගෑස් කිලෝ 12.5 ක් අසුරා තිබූ ගෑස් සිලින්ඩර තුළමය. අලූත් ගෑස් සිලින්ඩරයේ ඇති ගෑස් ප‍්‍රමාණය සහ පරණ ගෑස් සිලින්ඩරයේ තිබූ ගෑස් ප‍්‍රමාණය සංසන්දනය කළ මේ රටේ ජනයා අලූත් සිලින්ඩරය තුළ අඩු ගෑස් ප‍්‍රමාණයක් ඇති බවත් එමගින් තමන් ගසාකෑමට ගෑස් කොම්පැනිය කටයුතු කර ඇති බවත් කියන්නට වූහ. ඊළඟ පියවරේදී මේ කියමන ඔප්පු කරන ලදී. එවිට අලූත් ගෑස් සිලින්ඩරය හඳුන්වා දුන් ගෑස් කොම්පැනියේ චෙයාර්මන් පලවා හරින ලද අතර අලූත් චෙයාර්මන් කෙනෙක් පත්කරනු ලැබීය. අලූත් චෙයාර්මන් පැමිණ වැඩ භාරගෙන ටික දිනකින් රට පුරා ගෑස් හිඟයක් ඇති විය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම, එම ගෑස් ලබා ගැනීමට අපට ඩොලර් නොතිබීම, ගෑස් නැවක් කොළඹ වරාය අසලට පැමිණ වැඩි මිලට ගෑස් විකිණීමට උත්සහ කිරීම වැනි කාරණා මෙයට බලපෑවේය. සාමාන්‍යයෙන් මේ රටේ තිබෙන සියලූ සුරංගනා කතා අවසන් වන්නේ කුමාරයා රජවීම හෝ කුමාරයා සහ කුමාරිය එකතුවීම වැනි සුවබර අවසානයන්ගෙනි. එහෙත් ගෑස් අර්බුදය පිළිබඳ කතාව සුරංගනා කතාවක් නොවීම නිසා දිගුකාලීන ශෝකාන්තයක් බවට පත්විය. ඒ ශෝකය දරාගත නොහැකිව අපි අදටත් කඳුළු සලමු. එසේ කඳුළු සැලීමට විපක්ෂ නායකතුමා ද අප සමග එක්වීම මාර ශක්තියකි. දැන් ගෑස් මිල ඉතා ඉහළය. සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයක් රුපියල් පහකින් මිල වැඩි කළ විට ගෑස් ලිපේ පිසින ආප්පයක් රුපියල් පහකින් වැඩිකිරීම හෝටල්කාරයාගේ සිරිතය. ඔහු ප්ලේන්ටියකුත් රුපියල් පහකින් වැඩි කරයි. සාමාන්‍යයෙන් කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයකින් ආප්ප 500 ට වඩා පිසීමට පුළුවන. ප්ලේන්ටි බැරල් කිහිපයක්ම සෑදිය හැක. මේ ගැන කල්පනා කරන විට ගෑස් මිල වැඩිවීමේ ශෝකය තුනී වී හෝටල්කාරයා බාබිකි්‍යු කිරීමට තරම් වේග සිතක් ඇතිවේ. එබැවින් ඒ ගැන කතා නොකරමු.

 මෙවර හටගත් ගෑස් සිලින්ඩර පිපිරීම් මාලාව පිළිබඳ ආරංචි පැතිර ගියේ ග‍්‍රීස් යකා පිළිබඳව කලකට පෙර ආරංචි පැතිර ගිය ආකාරයටය. මෙයට අවුරුදු කීපයකට පෙර ඇඹිලිපිටිය පැත්තේ ජීවත්වූ සල්ලාලයෙක් රාත‍්‍රී කාලයේදී නිරුවත්වී ඇඟ පුරා ග‍්‍රීස් ගාගෙන ගෙවල්වලට එබිකම් කරන්නට පටන් ගත්තේය. එවන් රැුයක ශරීර කෘත්‍යය සඳහා පිළිකන්නට ගිය අහිංසක ගැමි කාන්තාවක් මෙකී නිරුවත් වානරයා දැක ක්ලාන්තව ඇද වැටුණාය. ගෙදර පිරිමි කැල ග‍්‍රීස් යකා අල්ලාගත් නමුදු ග‍්‍රීස් නිසා ලිස්සා ගොස් පණ බේරා ගැනීමට ඌට හැකි විය. මේ සිද්ධියෙන් දින කීපයකට පසු රටේ හැම තැනකින්ම ග‍්‍රීස් යක්කු මතුවීමට පටන් ගත්හ. රට පුරා ජනයා අලූතින්ම කිතුල් පොලූ හදාගෙන ග‍්‍රීස් යකා ඇල්ලීමට රාත‍්‍රී කාලයේදී රැුක සිටියහ. මෙහිදී කිසිදු ග‍්‍රීස් යකෙක් හමු නොවූ නමුදු රාත‍්‍රී සේවා මුර නිමවී පැමිණෙන අහිංසක මිනිස්සු කිතුල් පොලූකාරයන්ගෙන් මහත් සේ ගුටි කෑහ. ස්වල්ප කාලයක් යනවිට ග‍්‍රීස් යකා අමතකව ගියේය. මේ රටේ ගෑස් සිලින්ඩර පිපිරීම ද ග‍්‍රීස් යකා මෙන් පැතිර ගියේය. එහෙත් එය හිතළුවක් නොව සැබෑවකි. මෙහිදී බහුල වශයෙන් සිදුවී තිබුණේ ගෑස් සිලින්ඩර පුපුරා යෑම නොව සිලින්ඩරවලින් ගෑස් ලීක් වීමය. ගෑස් සිලින්ඩරයක් තනා ඇත්තේ මිලි මීටර් හතරකට කිට්ටු ඝනකමක් ඇති යකඩ තහඩුවකිනි. කිලෝ 12.5 ක් අඩංගු මෙබඳු ගෑස් සිලින්ඩරයක් පිපිරුවේ නම් එයින් නිකුත් විය හැකි ස්ඵෝටන ශක්තිය මෙගා ටොන් එකෙන් හැටෙන් එකක් පමණ ස්ඵෝටන ශක්තියට සමාන විය හැක. එවිට ගෑස් සිලින්ඩර පිපිරීමකට හරියාකාරව හසු වුණොත් එය පුපුරා ගිය නිවසේ උදවියට අට ඉස්බක් අහසේ පාවීමට සිදුවේ. එමතුද නොව පිපිරීම සිදු වූ නිවස පමණක් නොව අහල පහල ගෙවල් ද බිමට පහත් වේ. එහෙත් එතරම් විපතක් සිදු නොවීමට තරම් අපේ රටේ දුප්පත් අහිංසක ජනයා තවමත් වාසනාවන්ත ය. ගෑස් සිලින්ඩරයක් පිපිරීම යනු සිංහල අවුරුද්දට රතිඤ්ඤා පත්තු කිරීම වැනි සරල වැඩක් නොවේ. සිලින්ඩරය පුපුරන විට එයින් කැඞී වීසිවන යකඩ කැබලිවල බලපෑම මෝටාර් එකක් පුපුරන විට ඇති විය හැකි බලපෑමට සමානය. රටේ කිසිදු තැනක ගෑස් සිලින්ඩර පුපුරා නැති බව ලසන්ත අලගියවන්න ඇමැතිතුමා පසුගියදා පැවසීය. එහෙත් පුත්තලම පැත්තේ ගෙදරක පිපිරූ ගෑස් සිලින්ඩරයක කැබලිවල පින්තූර අප සතුව ඇත. ගෑස් කොම්පැණිය අතේ ලොකු වරදක් තිබෙන බව පෙනේ. දැනගන්නට ඇති පරිදි මෙහිදී සිදුවී ඇත්තේ බියුටන් නමැති කාබනික සම්භවයක් ඇති ගෑස් වර්ගය සහ ප්‍රොපේන් නමැති වායුව මිශ‍්‍ර කිරීමේදී හටගත් ආබාධයකි. බියුටන් මිල වැඩිය. ප්‍රොපේන් මිල අඩුය. ගෑස් දෙක මිශ‍්‍ර කිරීමේදී වැඩිපුර ප්‍රොපේන් එකතු කළොත් එයින් ලාභයක් ලබාගත හැක. එහෙත් කොම්පැණිය කියන්නේ එවැනි වැඩක් තමන් නොකළ බවය.

 ගෑස් ලීක් එකකින් ලොකු ගින්නක් හටගැනීමට ඉඩ තිබේ. අපි තිස් අවුරුද්දක් තිස්සේ ප‍්‍රභාකරන්ගේ භීෂණයට බියෙන් සිටියෙමු. ඒ අතරවාරයේදී 88, 89 අවුරුදුවල රාජ්‍ය භීෂණයට බියවී සිටියෙමු. මෑතක සිට සහරාන් මොඩලයේ බෝම්බ පිපිරීම ගැන අප තුළ ඇත්තේ අනියත බියකි. අවුරුදු දෙකක සිට අප සිටින්නේ කොවිඞ් වසංගතය පිළිබඳ පරාණ බයෙනි. ඒ අතර මුළුතැන්ගෙයි තිබෙන ගෑස් සිලින්ඩරය ඊළඟ මොහොතේදී පුපුරතැයි මේ රටේ ගෑස් පාවිච්චි කරන හැට ලක්ෂයක් වූ ගෙවල්වල අය කල්පනා කළොත් ඒ හැම ගෙයක්ම මළ ගෙයක් බවට පත්වෙයි. ප‍්‍රාණ බය තිබෙන විට කන කෑම ඇඟට පත්තියම් වන්නේ නැත. කොහොමටත් දැනට තිබෙන ආර්ථික අර්බුදයට අනුව පත්තියම් වීමට ප‍්‍රමාණවත් ආහාර නොලැබීයෑමේ තර්ජනයක් හටගෙන තිබේ. ගෑස් සිලින්ඩර ලීක් වන්නේ නම් එහි වරද ඇත්තේ රෙගියුලේටරයේ ද නොඑසේ නම් ගෑස් සිලින්ඩරයේ කටේද යන්න පරීක්ෂා කර බලා එම කටවල්වලටත් මිනිසුන් බියපත් කිරීම සඳහා බොරු කියන කටවල්වලටත් එරෙහිව සුදුසු පියවර ගත යුතුය. එසේම ගෑස් ලීක් එකට වගකිව යුතු නිලධාරීන් අල්ලා ඔවුන් ද සුදුසු ගෑස් එකක් බවට පත් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment