ගෑස් හිගය විදෙස් සමාගමක ලොකු ගේමක්

409

කෝටි 1000 ක වංචාවක්….
මාධ්‍යයට වසන්ව සිටි ලිට්රෝ සභාපති සියල්ල හෙළි කරයි

රටේ පවතින දැඩි ගෑස් හිඟය පිටුපස මෙරටට ගෑස් සපයන විදෙස් සමාගම සහ ඔවුන්ට අනුබල දෙන කූට ජාවාරම්කාර නිලධාරි පැළැන්තියක් ඇතුළු පිරිසක් සිටින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ (05 දා* සඳහන් කළේය. එම විදෙස් සමාගම ඔවුන්ගේ දෙවසරක සේවා ගිවිසුම තවත් දෙවසරකින් දික් කර ගැනීම සඳහා සිදු කළ දැඩි බලපෑම හේතුවෙන් මෙරට බරපතළ ගෑස් හිඟයක් නිර්මාණය වූ බව හෙතෙම සඳහන් කළේය.

”නැව ළඟටම ඇවිත් ගෑස් ලබා නොදී ගිවිසුම දික් කර ගැනීම සඳහා ඔවුන් අපිව බිත්තියටම හේත්තු කළා” යැයි හෙතෙම කීවේය.

මේ හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මස 28 වැනිදා සිට නොවැම්බර් මස 01 වැනිදා තෙක් එකදු ගෑස් සිලින්ඩරයක් නිෂ්පාදනය කිරීම සඳහා තොග සිය සමාගම සතු නොවූ බවත් එබැවින් මෙරට බරපතළ ගෑස් හිඟයක් නිර්මාණය වූ බවත් හෙතෙම කීවේය.

කෙසේ වෙතත් එම සමාගමේ බලපෑමට යට නොවී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහ බැංකු අධිපතිවරයාගේ මැදිහත්වීම මත නැව නිදහස් කර ගනිමින් ගෑස් තොග ලංකාවට ලබාගැනීමට කටයුතු කළ බවත් හෙතෙම කීවේය. ඒ අනුව දින කිහිපයක් තිස්සේ පැවැති ගෑස් හිඟය ඉදිරි දින හත තුළ මුළුමනින්ම අවසන් කිරීමට හැකි වනු ඇති බවත් තෙෂාර ජයසිංහ මහතා කියා සිටියේය.

මෙරටට ගෑස් සපයන විදෙස් සමාගම 2020 වසරේ පෙබරවාරි මස 28 වැනිදා සිට 2022 වසරේ පෙබරවාරි 28 වැනිදා තෙක් මෙරටට ගෑස් සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ලබා ගෙන ඇති බවත් ඔවුන් මෙරට ජනතාව පීඩාවට පත් කර ඔවුන් ඇපයට තබා ගිවිසුම තවත් වසර දෙකකින් දික්කර ගැනීමට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් හෙතෙම පැවසීය.

මේ පිටුපස කූට මාෆියාවක් ක‍්‍රියාත්මක වන බවත් අඩු මුදලට ගෑස් ලබා ගැනීමට වෙනත් විකල්ප හැකියාවන් තිබියදීත් මෙම සමාගමට අවස්ථාව ලබා දීම පිටුපස දැවැන්ත මූල්‍ය වංචාවක් සිදු වෙමින් පවතින බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

මේ පිටුපස ආසන්න වශයෙන් රුපියල් බිලියන 10ක, එසේත් නොමැති නම් රුපියල් කෝටි 1000ක පමණ වංචාවක් සිදු වෙමින් පවතින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

මෙම ගෑස් ඒකාධිකාරය බිඳ හෙළීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම සහ උපදෙස් මත කටයුතු කරමින් සිටින බවත් මෙරට ජනතාව ඇපයට තබා සිදු කරන කූට ගනුදෙනු නතර කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම කියා සිටියේය. මේ පිටුපස නිලධාරීන් පැළැන්තියක් සිටින බවත් හෙතෙම චෝදනා කළේය.

ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පවතින ගෑස් හිඟය මඟ හරවා ගැනීම සඳහා අඩු මුදලට හදිස්සි මිලදී ගැනීම් සිදු කිරීමට ද කටයුතු කරන බව හෙතෙම කීවේය.

මේ වන විට දෛනිකව ගෑස් සිලින්ඩර 85000ක පමණ ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සිය සමාගම කටයුතු කර ඇති බවත් සඳහන් කළ තෙෂාර ජයසිංහ මහතා මෙරට දෛනික ගෑස් සිලින්ඩර් අවශ්‍යතාවය සිලින්ඩර හැත්තෑපන් දහසක් පමණ බවත් කීවේය.

තමන් මෙතෙක් කලක් මාධ්‍යයට වසන් ව සිටියේ පවතින සැබෑ තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ අපේක්ෂාවෙන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරය නිමවා මෙරටට පැමිණි පසු ඒ මහතාට සියල්ල හෙළිකර මෙම හෙළිදරව් කිරීම සිදු කරන බවත් හෙතෙම පැවසීය.

ජාවාරම්කාර මාෆියා සොරුන්ගේ වළල්ලට පක්ෂ පාට අදාළ නැති බවත් ඔවුන් එකම කණ්ඩායමක් බව පිළිගත යුතු යථාර්ථයක් බවත් තෙෂාර ජයසිංහ මහතා කීවේය.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ (05 වැනිදා) එම අදහස් පළ කළේ යූනියන් පෙදෙසේ පිහිටි එම සමාගමේ ප‍්‍රධාන කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. මෙම අවස්ථාවට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ද එක්වූහ.


සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment