ගිංගඟ මිටියාවතෙන් ඇවිත් බද්දේගම සහ ගාල්ල හෙල්ලූ අමරසිරි දොඩංගොඩ

266
අමරසිරි දොඩන්ගොඩ මහතා අපෙන් වෙන්වී මැයි මස 30 වෙනි දිනට වසර 15ක් සපිරේ මෙම ලිපිය ඒ නිමිත්තෙනි

ගිංගඟ මිටියාවතේ මෙන්ම බද්දේගම හා ගාල්ල දිස්ත්‍රික් ජනතාවත් සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවත් පිරිසිදු අවංක දේශපාලන නායකයකු ලෙස මා ආදරණීය පියාණන්ට ආදරය කළ බව මගේ හැඟීමය. 1942 වසරේ ඔක්තෝබර් මස 18 වන දින උපත ලැබූ එතුමන් සිය තරුණ අවධියේ සිටම දේශපාලනය පිළිබඳව ද රටේ පැවති සමාජ ආර්ථික ගැටලු පිළිබඳව ද ඉතා උනන්දුවෙන් කටයුතු කළේය.

උසස් අධ්‍යාපනය හදාරා නීතිඥයකු ලෙස ද දිවුරුම් දුන් එතුමන් එදවස පටන්ම රටේ පැවති තත්ත්වයන් යහපත් අතට පත්කිරීම වෙනුවෙන් සිදුවිය යුතු මතවාදී හා දේශපාලනමය වෙනස්කම් වෙනුවෙන් හඬ නැගුවේය. ජනවේගය ඇතුළු දේශපාලන කණ්ඩායම් සමග සක්‍රීයව කටයුතු කළ එතුමා 1977 දී ප්‍රථම වරට අක්මීමන ආසනයට තරග කළේය. එයින් කිරීමට නොහැකි වුවද 1983 ග්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් බද්දේගම ආසනයේ පැවති අතුරු මැතිවරණයට තරග කොට ඉන් ජයග්‍රහණය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ගමේ ශ්‍රදානයෙන් ආරම්භ වූ මගේ පියාගේ සමාජීය වැඩ කටයුතු දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව පසුකාලීනව මහ ඇමැතිවරයකු සහ ඇමැතිවරයකු ලෙස ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් ක්‍ෂේත්‍ර ගණනාවකම උන්නතිය වෙනුවෙන් අවශ්‍ය නායකත්වය හා දායකත්වය ලබාදෙන්නට එතුමන්ට හැකි විය.

1989 වසරේ මහ මැතිවරණය ද ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ එතුමන්ගේ දේශපාලන ජීවිතයේ තීරණාත්මක කඩඉම වූයේ 1993 පැවති දකුණු පළාත් සභා මැතිවරණයයි. පාර්ලිමේන්තුවෙන් ද ඉල්ලා අස්වී එවකට කිසිවකු ඉදිරිපත් නොවූ අභියෝගයක් බාරගත් එතුමා දකුණ වමට හැරවූ දේශපාලන සටනේ ඉදිරි පෙළ නියමුවා විය. පෙරලිය නොහැකියයි සම්මත වූ ආණ්ඩුවක් ගෙදර යවන සටනේ පළමු වෙඩිමුරය තබමින් විවිධ අභියෝග බාධක රාශියක් මැද දකුණු පළාත් සභා මැතිවරණය ජයගෙන දකුණේ මහ ඇමැතිවරයා විය. මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දෙන්නට කළ බාධා ද මැඬ අභියෝග රැසක් මැද එදා ගාල්ල නගරයේදී ඔහු දිවුරුම් දුන් අයුරුඑදා මෙදාතුර දේශපාලන වංශකථාවේ තීරණාත්මක පරිච්ඡේදයක් ලෙස සිහිපත් කළ යුතුය.

යළි 1994 දී පාර්ලිමේන්තු මැතිවරණය ද ඉහළින්ම ජයගත් එතුමා වාර්තාගත මනාප සංඛාවක් ද සමගින් යළි පාර්ලිමේන්තුවට තේරී පත්ව එවක පිහිටවූ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍ය ධුර රාශියක් හෙබවීය. ඉන් අනතුරුව 2009 වර්ෂයේ අපෙන් වෙන්වන තුරුම පැවති විවිධ රජයන් තුළ අමාත්‍ය ධුර හොබවමින් ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් එතුමා ඉටු කළේය.

වෘත්තීය පුහුණු කාර්මික අධ්‍යාපන ඇතුළු අමාත්‍ය ධුර හොබවමින් මෙරට වෘත්තීය පුහුණු ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සහ රැකියා ඉලක්කගත වෘත්තීය පුහුණුව සහිත තරුණ ප්‍රජාවක් රටට දායාද කිරීම සඳහා අවශ්‍ය කටයුතු එතුමා සිදුකළේය. එකළ වූ වෘත්තීය පුහුණුව ලබාදීමට හැකි විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ මූලික සංකල්පමය අදහස් පසු කළෙක යථාර්ථයක් වූ අයුරු දැකගත හැකිවිය. එතුමන් නියෝජනය කළ බද්දේගම ඇතුළු රට පුරාම නවීන තාක්ෂණයෙන් සහිත වූ උසස් මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන රාශියක් ද අභිමානී වැනි වෘත්තීය දැනුම පිළිබඳ දැනුවත් කළ වැඩසටහන් ද රටපුරාම ක්‍රියාත්මක කිරීමට හැකි විය.

දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස දේශීය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මෙන්ම දේශීය වෛද්‍යවරුන්ට ද බටහිර වෛද්‍යවරුන්ට හා සමානව අහිමානයෙන් ජීවත් විය හැකි වටාපිටාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් කටයුතු කළේය. අදටත් ඔවුන් තුළ එතුමන් කෙරෙහි ඇති ගෞරවය එයට ඇති කදිම නිදසුනකි.

සමුපකාර අමාත්‍යවරයා ලෙස එම ක්‍ෂේත්‍රය වෙනුවෙන් ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නේය. සමූපකාර රක්‍ෂණය වැනි සංකල්පයන් ද ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් රට පුරාම සමූපකාර ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එතුමන් ලබාදුන් දායකත්වය ද අදටත් එම ක්‍ෂේත්‍රයේ නිරත උදවියගේ ගෞරවයට පාත්‍රවී තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රාජ්‍ය සේවයට සහ රාජ්‍ය සේවකයන්ගේ යහපත වෙනුවෙන් සුදුසු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් එතුමන් කටයුතු කළේය. පළාත් සභා සහ පළාත් පාලන ඇතුළු අමාත්‍යංශ රාශියක මෙන්ම පසුකාලීනව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසත් එතුමන් කටයුතු කළේය. දැනට වැඩ අවසන් අදියරේ පවතින ගාල්ල නව අධිකරණ සංකීර්ණය ද එතුමන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් බව සඳහන් කළ යුතුය. රෝගීවී ගතින් දුර්වල වුව ද එතුමන් තමන්ගෙන් විය යුතු කටයුතු උපරිමයෙන් ඉටු කිරීමටත් තමන්ට පැවරුනු වගකීම් නිවැරදිව ඉටුකිරීමටත් කටයුතු කළේය.

මා ආදරණීය පියාණන් ගතකළේ ඉතා සරල වූ දිවි පෙවතකි. අමාත්‍යවරයකු ලෙස කිසි දිනක මහජන මුදල් නාස්ති වන කටයුතු සිදු නොකළේය. මහජන මුදලට ඇති ගෞරවය ඉතා ඉහළින් රැකීමට ඔහු සැමදා කටයුතු කළේය. පිරිසිදු නායකයකු ලෙස දීර්ඝ කාලයක් දේශපාලනය කළ එතුමා සැමදා මහජන මුදල් ආරක්‍ෂා කළ අතර කිසිදා දූෂණ වංචා චෝදනා එල්ල නොවූ නායකයකු බවට සියලු දෙනා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පිළිගන්නා කරුණකි.

බද්දේගම ආසනයේත් ගාල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව තුළ ද එතුමන්ගේ නම සිහිකරන අවස්ථාවලදී යහපත් හැඟීමක් සිතට එන්නේ එම නිසා විය යුතුය. ඔහු නැති අඩුව පවුලේ අපට පමණක් නොව බද්දේගම හා ගාල්ල දිස්ත්‍රික්කයටත් යහපත් දේශපාලනයක් ප්‍රාර්ථනා කරන සමස්ත ලක් දෙරණටත් සැමදා දැනෙනු ඇත. අපට එතුමන්ට ලබාදිය හැකි ඉහළම ගෞරවය ඔහුගේ යහපත් ප්‍රතිපත්තීන් රැකගෙන කටයුතු කිරීමයි. එහෙත් එතුමන් නැති අඩුවත් එතුමාගේ ගුණ සුවඳත් අප හදවත් තුළ සදා ජීවමානව පවතිනු ඇත.

ඉසුරු දොඩන්ගොඩ
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment