ගින්නක වැස්සක දර්ශන ගන්න වේදිකාවක් නැහැ

278

අද වේදිකා පරිපාලන ශිල්පියෙක්
කතාබහ – සඳුන් ලක්‍ෂාන්


 ප‍්‍රවේශය

 මම පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. 2 ශ්‍රේණියේ පටන් පාසල් මට්ටමින් නාට්‍ය වලට සහභාගී වුණා. නමුත් විෂයයක් හැටියට හදාරන්න පටන් ගත්තෙ 6 ශ්‍රේණියේ ඉගෙනගන්න කාලෙ. එහිදී මගේ ගුරුවරයා වුණේ දේශප‍්‍රිය බණ්ඩාර මහත්මයා. ඉන් අනතුරුව උසස් පෙළ විභාගයට පෙනී සිටින්න මම කොළඹ මහානාම විද්‍යාලයට ඇතුළත් වෙනවා. එහිදී මට ගුරුහරුකම් ලැබෙන්නෙ පත්මිණී රේණුකා ගුරු මහත්මියගෙන්. මේ කාලයේ වේදිකාගත කළ පාසල් නාට්‍ය වලදී සමස්ත ලංකා හොඳම නළුවා සම්මානය පවා දිනා ගන්න මට හැකියාව ලැබුණා.

 පියවරක් ඉදිරියට

 නාට්‍ය හා රංග කලාව විෂය වැඩිදුර හැදෑරීම සඳහා 2015 වසරේදී මම ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වෙනව. එතැන මාස හයක පාඨමාලා කාලය අවසානයේ 2016 වසරේදී ටවර් හෝල් රඟහල පදනමට සම්බන්ධ වෙනව. වසර හතරක අධ්‍යයන කාලයෙන් අඩක් අවසානයේ අධ්‍යාපනවේදී උපාධියේ ඉතිරි කොටස සම්පූර්ණ කරගැනීම සඳහා මේ වන විට නාවල විවෘත විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා අධ්‍යයන කටයුතු සිදුකරනවා.

 ප‍්‍රසිද්ධ වේදිකාවට

 අධ්‍යාපන කටයුතු සිදුකරන අතර තුර ‘සාදය මාරයි සල්ලි හමාරයි.” ‘ජෝඩු ජෝඩු.” ‘කැලණි පාළම. යන නාට්‍යවල සහාය වේදිකා පරිපාලකවරයෙක් හැටියට කටයුතු කරන්න මට අවස්ථාව ලැබෙනව.

ගින්නක වැස්සක දර්ශන ගන්න වේදිකාවක් නැහැ



 මගෙන් වැඩක්

 සහාය වේදිකා පරිපාලකවරයෙක් හැටියට කටයුතු කරන්න ලැබුණු අවස්ථාවෙන් ලැබුණු අත්දැකීම් එක්ක 2019 වසරේදී ‘නයිට් ඩියුටි. කෙටි නාට්‍යය මගේ අතින් නිර්මාණය වෙනව. මේ නාට්‍යය එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නළුවා” හොඳම පසුතල නිර්මාණය” හොඳම වේදිකා පරිපාලනය” හොඳම අධ්‍යක්‍ෂණය සහ හොඳම පිටපත යන සම්මාන පහ සමගින් තුන් වැනි ස්ථානය දිනාගන්නට සමත් වෙනව. ඒ වගේම එම වසරේ යෞවන සම්මාන උළෙලේදී හොඳම නාට්‍යය” හොඳම අධ්‍යක්‍ෂණය සහ හොඳම පිටපත යන සම්මාන සමගින් තුන්වැනි ස්ථානය දිනාගන්නට සමත් වෙනව.

 සම්මානයක වරුණ

 මේ අතර 2019 වසරේදීම මගේ කලා ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් උදාවෙනව. ඒ නිලංක නිසලාංජල් මහත්මයාගේ ‘අතරමැදියා. නාට්‍යයේ වේදිකා පරිපාලනය මට පැවරීම. මින් පෙර සහායක වේදිකා පරිපාලකවරයෙක් හැටියට කටයුතු කළත්” වේදිකා පරිපාලකවරයෙක් හැටියට කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණු පළමු වතාව. මේ වෙනුවෙන් මම කළ කැපවීමේ ප‍්‍රතිඵලයක් හැටියට 2020 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම වේදිකා පරිපාලකවරයාට හිමි සම්මානය මට ලැබෙනව.

 සහාය

 ඇත්තටම මුල් කාලයේ මගේ දෙමව්පියන් මම කලාවට යොමු වෙනවට කැමති වුණේ නැහැ. නමුත් පසුකාලීනව ඔවුන් කිව්වෙ කැමති දේ කරල ඔයාගෙ අරමුණට යන්න කියල. ඔවුන් නිසා තමයි අද මම යම් තැනකට පැමිණෙමින් ඉන්නෙ. සමාජයේ මොන තරම් යහළුවො හිටියත් අම්මයි තාත්තයි තමයි මගේ හොඳම යහළුවො දෙන්න.

 වෘත්තිය

 යම් කෙනෙක් මගේ වෘත්තිය මොකක්ද කියල ඇහුවොත් මම කියන්නෙ රංගන ශිල්පියෙක් කියල. නමුත් කලාව මගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය නොවෙයි. මම ව්‍යාපාරයක් කරනව. ඒ වගේම පසුගිය 07 වැනිදා ඉඳන් පැපිළියානේ මහා මායා විද්‍යාලයෙන් මගේ ගුරු පුහුණුව ආරම්භ කළා.

 වේදිකාවේ භූමිකාව

 බොහෝ දෙනෙක් මාව හඳුන්වන්නේ වේදිකා පරිපාලකවරයෙක් හැටියට. නමුත් මගේ අරමුණ වුණේ රංගන ශිල්පියෙක් වීම. කලා ක්‍ෂේත‍්‍රයට පැමිණීමෙන් පසුව මම දකිනව ඒ තුළ වෘත්තීමය ස්වභාවයන් කිහිපයක් තියෙන බව. එතනදි මම වේදිකා පරිපාලනය තෝරා ගන්නවා.

 සම්මාන

 බොහෝ දෙනකුට වගේම මටත් සම්මාන ගැන ආසාවක් තියෙනව. මොකද සම්මානයක් කියන්නෙ කලාකරුවකුට සතුටක්” තෘප්තියක්” දිරිගැන්වීමක් ඇතිකරවන දෙයක්. නමුත් ඒක පෙරේතකමක් නොවෙයි. සම්මාන බලාගෙන වැඩ කරන්නෙත් නැහැ. ඒවා පසුපස හඹා යන්නෙත් නැහැ. මට වුවමනා කවුරුත් කතාවෙන දෙයක් කරන්න. ඒක මරු කියල නිරායාසයෙන් කියවෙන දෙයක් කරන්න.

 පහසුකම්

 ලංකාවේ රඟහල සහ පිටරට රඟහල සංසන්දනය කළොත් අපේ රටේ රඟහල තියෙන්නෙ ගොඩක් පහළ තැනක. හොඳම රංග ශාලා කියල කොටසක් අපේ රටේ නැහැ. යම් තරමකට හෝ තියෙන්නෙ ලයනල් වෙන්ඞ්ට් එක විතරයි. නෙළුම් පොකුණ කියන්නෙ සම්මන්ත‍්‍රණ ශාලාවක්. ඒ නැතත් ලක්‍ෂ ගණනක් වියදම් කරල ඒවායේ නාට්‍ය පෙන්වන්න පුළුවන් වටපිටාවක් නාට්‍යකරුවාට නැහැ.

 තාක්‍ෂණය

 අපේ රටේ වැස්සක් වැටෙන දර්ශනයක් ගන්න පුළුවන් වේදිකාවක් නැහැ. ගින්නක් ඇති වෙන දර්ශනයක් ගන්න පුළුවන් වේදිකාවක් නැහැ. නමුත් ලෝකයේ වේදිකාව 4ෘ 5ෘ තාක්‍ෂණය භාවිතා කරනව. යම් දර්ශනයකදි ඇතිවන ග`ද සුවඳ පවා දැනෙන තරමට තාක්‍ෂණය දියුණු වෙලා. ලංකාවේ ඒ තාක්‍ෂණය භාවිත කරන්න පුළුවන් තැනක් නැහැ.

 වෘත්තිය සහ මිතුරන්

 කලා ක්‍ෂේත‍්‍රයේ බොහෝ විට දකින්න ලැබෙන දෙයක් තමයි නිර්මාණ වලට මිතුරන් යොදා ගැනීම. මේකෙන් ලාභයක් බලාපොරොත්තු වුණත් සිදු වෙන්නෙ හොඳ දෙයක් නොවෙයි. මොකද යහළුවන් අතර බැමි නැහැ. එක දවසක් රිහසල් එනව” අනිත් දවසෙ කියනව මචන් මට එන්න විදිහක් නැහැ කියල. ඒ වෙලාවට දොස් කියන්න බැහැ. යහළුවනෙ. අපේ වේදිකාව ඉදිරියට නොයන එක හේතුවක් තමයි මේ. මම මගේ යහළුවෙක් සම්බන්ධකර ගත්තත් ඒ ගන්නෙ ගිවිසුමක් අත්සන් කරල.

 කැපිලි කෙටිලි

 ලංකාවේ බොහෝ ක්‍ෂේත‍්‍රවල එකෙක් පරයා එකෙක් නැගිටිනවට කවුරුවත් කැමති නැහැ. තමන්ට ලැබිය යුතුයි කියල හිතන සම්මානය තමන්ගෙ හොඳම යහළුවාට ලැබුණම තරහ වෙන අය කොච්චර ඉන්නවද. කිරි කළයට ගොම බිංදුවක් වැටුණාම ඒක මිශ‍්‍ර වෙන්න නොදී ගොඩගන්න පුළුවන් අය ඉන්නව නම් කොතැනත් ලස්සන වේවි.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment