ගිනිගත් මන්ත්‍රීලාගේ නිවාස කුලිය කෝටි 85 පනියි

158

අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කළ නිවාස වෙනුවට මැති ඇමැතිවරුන් සඳහා මාසික කුලී පදනම මත පන්නිපිටිය වීරමාවත පිහිටි වියත්පුර පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් ලබාදී තිබෙන නිවාස 101ක් සඳහා වසරකට රුපියල් අසූහය කෝටි හතළිස් ලක්‍ෂයක මුදලක් මහාභාණ්ඩාගාරයට පියවා දමා තිබේ.

ඒ අනුව එක් මාසයක දී ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුව තිබෙන මුදල හත්කෝටි විසිලක්‍ෂයක් යැයි නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසී ය.

ඉකුත් මැයි 09 වැනිදා රට තුළ ඇතිවූ දේශපාලන නොසන්සුන්තාව අතරේ කිසියම් කඩාකප්පල්කාරීන් පිරිස් විසින් පාර්ලමේන්තු මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික නිවාසවලට ගිනිතබා හානි කර තිබිණි.

ඒ අනුව ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනවලින් පසු මැති ඇමැති නිවාස 51ක් පමණ දැඩි ලෙස හානියට පත්ව විනාශ වූ බවට වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් වියත්පුර සුපිරි මහල් නිවාස සංකීර්ණයේ බ්ලොක් බී හි නිවාස 101ක් ම මැති ඇමැති හා ඥාතීන් වෙත මෙලෙස ලබාදී ඇතැයි ද එම නිලධාරියා කීය. මේ අතර දෙමළ හා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසකගේ නම් ද ලයිස්තු ගතවී ඇත.

මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ කාලයේ දී (2017) මෙම සුපිරි මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමට පියවර ගෙන තිබිණි. නිවාස සංවර්ධන අධිකාරියට අයත් මෙම නිවාස සංකීර්ණයේ නිවාස මෙලෙස මැති ඇමැතිවරුන් සඳහා පසුව කුලී පදනම මත ලබාදීමට රජය පියවර ගත්තේ අරගලයෙන් පසුව ය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් වෛද්‍යවරු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ආචාර්යවරු හා මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට මෙම වියත්පුර සුපිරි තට්ටු නිවාස සංකීර්ණය ඉදිකර තිබිණි. මෙම නිවාස ලබා ගැනීම සඳහා ඇතැම් වෘත්තිකයන් රුපියල් එක්කෝටි හැටලක්‍ෂයේ සිට රුපියල් දෙකෝටි හතළිස් ලක්‍ෂයක් අතර මුදලක් ලබාදී වසර දෙකකට අධික කාලයක් තිස්සේ බලා සිටින බවද එම නිලධාරියා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment