ගිනි අවි පෙන්නා දේපළ පැහැර ගන්න ආ කල්ලියක් දැලේ

167

ගිනි අවි පෙන්වා දේපළ කොල්ලකෑමේ යෙදුණු කල්ලියක සැකකරුවෝ තිදෙනෙක් ගිනි අවි අත්බෝම්බ උණ්ඩ, පිහියා ඇතුළු දේපළ රැසක් සමග ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිල් පනාගොඩ, දිවුලපිටිය පින්න කැලේවත්ත හා දැවුමොට්ටාව පදිංචිකරුවන් තිදෙනෙකි.

ගල්කටස් ගිනි අවි දෙකක්, එම උණ්ඩ අටක්, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, සොරා ගන්නා ලද යතුරුපැදි දෙකක් පිහියා හයක් සමග ගෙවල් බිඳීමේ උපකරණ කිහිපයක් ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සති තුනකට පමණ පෙරදී කළුමඩ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකදී වෛද්‍යවරයකුගේ රන් ආභරණ තොගයක් ගිනි අවි පෙන්වා පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් හා දේපළ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් සැරිසරන බවට දෙල්වගුර ප්‍රදේශයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් දෙල්වග ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා ඇති අවස්ථාවේ සැකකටයුතු යතුරුපැදිය පළා යද්දී පෙරළී ඇත.

පෙරළුනු යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා දිව යෑමට සූදානම්වූ අවස්ථාවේ පොලිස් කණ්ඩායම් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එක් සැකකරුවකුගේ ලිංග ප්‍රදේශයේ සඟවා තිබූ ජීව අත්බෝම්බය පොලිසියට හමුවී තිබේ.

සෙසු පුද්ගලයා සතුව තිබී ගල්කටස් ගිනි අවියක් හා උණ්ඩ හතරක් පොලිසියට හමුවීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් ඒ වන විට ගමන් කරමින් තිබූ යතුරුපැදිය ද මිනුවන්ගොඩ කටුඇල්ලේගම ප්‍රදේශයෙන් සොරා ගත්ත එකක් බව හෙළි වී ඇත.

එමෙන්ම ඔවුන් විසින් සොරා ගන්නා ලද යතුරුපැදියක් දැවමොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා ඇති බවට ලැබුණ තොරතුරක් අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු සතුව තිබීද එම සොරාගත් යතුරුපැදිය හා ගල්කටස් ගිනි අවියක් සමග එම උණ්ඩ හතරක් සහ මන්නා පිහියක් සහිත බෑගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සැකකරුවන්ගෙන් බඩල්ගම වසමේ සිද්ධීන් දෙකක් කටාන හා මිනුවන්ගොඩ පොලිස් වසම්වල සිද්ධීන් එක බැගින් ද අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී ඇත.

මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ අධීක්ෂණය හා සහකාර පොලිස් අධිකාරි ගාමිණී රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පතිරණ, පොලිස් පරීක්ෂක සමන්කුමාර උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රසාද්, කරුණාතිලක ඇතුළු නිලධාරීන් පරීක්ෂණ මෙහෙය වති.
කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment