ගිනි ගත් නැවෙන් වුණු හානිය යට ගහන්න ඉඩ දෙන්නේ නෑ – සභාපතිනි දර්ශණී ලහඳපුර

331

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකා විනාශයෙන් රටට සිදුව ඇති හානිය යට ගැසීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත්, හැකි උපරිම වන්දිය ලබාගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් පවතින බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශණී ලහඳපුර මහත්මිය පවසයි.

නොවැම්බර් මස 30 වැනිදා වන විට වන්දි ලබාගැනීමට අදාළ ලියවිලි නැවේ රක්ෂණ සමාගම වෙත ඉදිරිපත් කළ යුතුව ඇති හෙයින් මේ වන විටත් පත්කර ඇති 40 කින් පමණ සමන්විත විද්වත් කමිටුව මගින් එක් එක් ක්ෂේත‍්‍රයට අදාළ හානි පූර්ණය සඳහා අධ්‍යයන කටයුතු සිදුකරමින් පවතින බවද ඇය සඳහන් කරන්නීය.

සභාපතිනිය මේ බව ප‍්‍රකාශ කළේ ‘ගිනිගත් නැවේ වන්දි යටගහන්න කුමන්ත‍්‍රණයක්’ මැයෙන් ඉකුත් 14 වැනිදා ‘දිවයින’ ප‍්‍රධාන සිරස්තලය පිළිබඳව කරුණු පැහැදිලි කරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලහඳපුර මහත්මිය සඳහන් කරන්නේ සරක්කුව වෙරළේ පිරිසිදු කටයුතු සඳහා යොදවා ඇති නව නිර්මාණකරුගේ යන්ත‍්‍රය සඳහා කළ යුතු ගෙවීම සඳහා වන වව්චර දැනටමත් පී ඇන්ඞ් අයි නමැති නැවේ රක්ෂණ සමාගම වෙත යොමුකර ඇති බවත්, එම යන්ත‍්‍රයෙන් අනාවරණය කරගත් දූෂක කාරකවල හානියද රක්ෂණ වන්දි අයකරගැනීම සඳහා සලකා බලන බවත්ය.

සමුද්‍ර, වායු හා වෙරළ දූෂණය, සාගර ජීවීන්ට සිදුවූ හානිය, ධීවර, සංචාරක ක්ෂේත‍්‍ර හා අනෙකුත් සියලූ අංශවලට සිදුවූ හානි සලකා බලා හැකි උපරිම වන්දිය ලබාගැනීම සඳහා මීපා ආයතනය කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

ජගත් කණහැරආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment