ගිය වසරට වඩා මේ වසරේ ඩෙංගු ඩබල් වෙලා

67

ඉකුත් වසරට (2022) සාපේක්ෂව මෙම වසරේ ගත වූ මාස පහේම දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තා පෙන්වා දෙමින් වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

මෙම තත්ත්වය මත ජනතාව ඩෙංගු රෝගය ගැන දැනට වඩා වැඩි අවධානයක් හා සැලකිල්ලක් දක්වා අවට පරිසරය ඩෙංගු මදුරුවන්ගෙන් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගත යුතු බව වෛද්‍යවරු කියා සිටිති.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තාවලට අනුව ඉකුත් වසරේ ජනවාරි මාසයේ දිවයිනෙන් වාර්තා වූ 7702ක් වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙම වසරේ ජනවාරි මාසයේදී 8963ක් දක්වා රෝගීන් 1261කින්ද, ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ වාර්තා වූ 2962 ක් වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙම පෙබරවාරි මාසයේදී 6709 ක් දක්වා රෝගීන් 3747 දෙනකුගෙන්ද, ඉකුත් වසරේ මාර්තු මාසයේ වාර්තා වූ 3040ක් වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙම මාර්තු මාසයේදී 6419ක් දක්වා 3379 දෙනකුගෙන්ද, ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් 4019 ක සංඛ්‍යාව මෙම අප්‍රේල් මාසයේ 7617 දෙනකු දක්වා රෝගීන් 3598 දෙනකුගෙන්ද ඉකුත් වසරේ මැයි මාසයේ වාර්තා වූ 6483 දෙනකු වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙම මැයි මාසයේදී 9696 ක් දක්වා රෝගීන් 3213 දෙනකුගෙන්ද වැඩි වී තිබේ.

මෙම දිනවල පවතින කඩින් කඩ වැසි හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම තවත් වේගවත් වීම නිසා අවට පරිසරයේ ඇති ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරතුරුව විනාශ කිරීමට සියලු නිවැසියන් හා ආයතන පියවර ගත යුතු බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරති.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment